අහිංසකත් නෑ නපුරුත් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 11, 2022

අහිංසකත් නෑ නපුරුත් නෑ

ඉමා වීරසූරිය මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් ලබන රංගන ශිල්පිනියක්. ඇය ජනප්‍රිය වී සිටින්නේ  ‘ඇස්’ ටෙලි නිර්මාණය හරහාය. මේ ඇය ඉරිදා ලංකාදීප සැදැල්ල අතිරේකය සමග දොඩමලු වුණු අයුරුය.
‘ඇස්’ ටෙලි නිර්මාණයේ සිහිළැලිට අද වෙද්දී ගොඩක් දෙනෙක් ආදරය කරනවා නේද? 
ඔව්. ඇත්තටම ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳගත්ත චරිතයක් වෙලා තියෙනවා. මේ චරිතයට එතරම් කැමැති වෙන්න හේතුව මම හිතන විදියට ඇය අහිංසක නිවුණු ගැහැනු ළමයෙක් නිසා වෙන්න ඇති. ඇත්තටම මෙහි අධ්‍යක්ෂවරයා හසුන් සමීර මහත්මයා මට මේ චරිතය වෙනුවෙන් කතා කරද්දී ඔහු කිව්වෙ ‘සිහිළැලි මන්දාරා’ කියන්නේ ගැමි පරිසරයක හැදෙන වැඩෙන දෙමව්පියො නැති බොහොම අහිංසක ආදරණීය චරිතයක් කියලා. ඉතින් මමත් ගොඩක් කැමැති වුණා මේ චරිත රංගනය කරන්න. ඒ වගේම මාව මේ චරිතයට මෙහි අධ්‍යක්ෂවරයාට කිහිප දෙනෙක්ම යෝජනා කරලාත් තිබුණා. ඒ හැමෝටමත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනා මාව මේ වෙනුවෙන් දායක කරගත්තට. මොකද අද වෙද්දි සිහිළැලිට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න හැකිවෙලා තියෙනවා. කොහොමත් මමත් ආදරෙන් කරන චරිත රංගනයක් තමයි මේ. 

සිහිළැලිගෙ අහිංසකකම නිසාම විවිධ පාර්ශවයන්ගෙ දුෂ්ටකම්වලට පාත්‍ර වෙන්නත් සිදුවෙලා තියෙනවා නේද?
ඔව්, සිහිළැලි ජීවත් වන සමාජ මට්ටමත් එක්ක යම් යම් සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. පාසල් කාලයේ යොවුන් ප්‍රේමයේ ඒ හැඟීම් ඇතිවීම පිළිබඳ මේ කතාව සම්බන්ධ කරලා තියෙන්නෙ. පාසල් කාලයේ දී ඇතිවුණු හැඟීම් එක්ක ලියැවුණු කවිපද සංවාදයක් සමඟින් ඇතිවුණු ප්‍රේමයක් සිහිළැලිට තියෙනවා. ඒ ප්‍රේමයට බාධා තමයි තියෙන්නෙ. ඒ ඇය ජීවත් වන සමාජ තත්වය නිසා. ඇයගේ ප්‍රේමයට මොකද වෙන්නෙ කියන දේ බලාගන්න හැකි වෙයි දිගටම ‘ඇස්’ එක්ක රැඳිලා හිටියොත්. 
ඉමාට ඇස්වලින් කතා කරන ප්‍රේම කතාවක් එහෙම තිබිලා තියෙනවද?
මං ගියේ මිශ්‍ර පාසලකටනෙ. ඇත්තටම මට මේ චරිතය කරන්න පහසු වුණා ඒ කාලෙ අපි දැකපු විඳපු අත්දැකීම් සියල්ල. ඇත්තටම අපේ පාසලේ ගැහැණු පිරිමි වෙනසක් නැහැ හැමෝම යාළුවො. දෙපිරිසම බොහොම සහයෝගයෙන් ආදරයෙන් සහෝදර බැඳීමෙන් වැඩ කළේ. ඒ අතර ප්‍රේමනීය ඇස්වලින් කතා කරන ප්‍රේම කතාත් කිහිපයක් මුණගැහිලා තියෙනවා. ඉතින් ඒ හැමදේම වගේ මගේ යහළු යෙහෙළියන්ගේ ආදර කතාත් දැකලා තියෙනවා. මේ සියල්ලත් එක්ක ඇත්තටම මට මේ චරිතය කරන්නත් පහසු වුණා ඒ කාලෙ ගෙවුණු සුන්දර මතකයන් එක්ක. 

ඒ කියන්නෙ මේ චරිත රංගනයත් එක්ක ඉමා ආයෙත් පාසල් ගියා?
ඔව්. ඇත්තටම. මමත් පාසල් දෙකකට ගියා. ඒ කෑගල්ල සුජාතා කනිෂ්ඨ විද්‍යාලයටත් පින්නවල ජාතික පාසලටත්. ඉතින් මම පෙර සඳහන් කළා වගේ මේ පාසල් දෙකේම සුන්දර මතකයන් තියෙනවා. සුජාතා විද්‍යාලයේ ඒ අවට පරිසරය ඉතාමත් සුන්දරයි. රජමහා විහාරයක් කුඹුරු යායක් මධ්‍යයේ ඒ පාසල පිහිටා තියෙන්නෙ. ඉතින් ඒ සුන්දරත්වය ආයෙත් මට දැනෙන්න අරන් තියෙනවා ‘ඇස්’ නිර්මාණය හරහා. මොකද මේ නිර්මාණයේ දර්ශන තල හැමදේම හරිම සුන්දරයි. ලස්සන වටපිටාවක් පරිසරයක් තියෙන්නෙ. ඉතින් පාසල් නිල ඇඳුම ඇඟට දාගෙන ඒ චරිතයට ප්‍රවිශ්ඨ වෙද්දි මට දැනෙන්නෙ ආයෙත් පාසල් ගියා වගේ තමයි. 
පාසල් කාලෙදිත් සිහිළැලි වගේම අහිංසක ද?
අනේ නැහැ. මම අහිංසකත් නැහැ. නපුරුත් නැහැ. මට හොඳ අයට මම හොඳයි. ඒ වගේම මම කවදත් අසාධාරණයක් වුණ තැනදි කතා කරනවා. කවුරුන් හෝ වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න ඕන වුණොත් ඒ කිසිදේකට පැකිළෙන්නෙ නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි කියලා තමයි කියන්න තියෙන්නෙ. නැත්නම් අද සමාජෙ ජීවත් වෙන්නත් බැහැනෙ. 

ඒ කියන්නෙ කලු සුදු ඕනෑම චරිතයක් කරන්නත් පුළුවන් ඉමාට?
මට මීට පෙර ලැබුණෙම කලු චරිත. ප්‍රතිවීර චරිත කිහිපයක්ම කළා. මේ තරම් අහිංසක වුණේ මේ සිහිළැලි චරිතය හරහා තමයි. ඇත්තම කිව්වොත් මම පෙර යෙදුණු රංගනයන් එක්ක හොඳට බැනුම් අහපු අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ ප්‍රතිචාර නිසාම මට හිතෙන්නෙ මම ඒ චරිත සියල්ල හොඳින් කරන්න ඇති කියලා. ඒ නිසා තමයි දුෂ්ට චරිතවලට බැනුම් ඇහුවෙත් අහිංසක චරිතවලට ආදරේ ලැබුවෙත්. ඉතින් මට කියන්න තියෙන්නෙ අපි කරන චරිත සුදු හෝ කළු වේවා ඒ චරිතවලට බනින්න, වෛර කරන්න. ඒ ප්‍රතිචාරවලින් තමයි අපි තව තවත් ශක්තිමත් වෙන්නෙ. නමුත් ඒ ඉදිරිපත් කරන චරිතවලින් ඉමා වීරසූරියට මොනවත් කියන්න එපා. මොකද ඒ නිර්මාණ තුළ අපේ ඇත්ත ජීවිතේ නැහැනෙ. 
රංගන ක්ෂේත්‍රයට අවතීර්ණය සිද්ධ වෙන්නෙ කොහොමද?
පුංචි කාලෙ ඉඳන් රංගනයට කැමැත්තක් තිබුණා. ඒ නිසාම පාසල් වේදිකාවෙත් මම රංගනය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ වගේම නාට්‍ය හා රංග කලාවත් විෂයක් විදියට හැදෑරුවා. ඒ හැදෑරීමත් එක්ක ඒ විෂයන් හොඳින් සමත්වෙලා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයටත් ඇතුළත් වෙලා එහිදීත් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලෙදිත් මට රංගනයට අවස්ථා ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා තිබුණු නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ වගේම කියන්න ඕනැ මම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයට එන්න කලින් ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයටත් සහභාගි වුණා. ඒ තුළිනුත් ස්වර්ණ කුමරිය විදියට ප්‍රථම ස්ථානය දිනාගෙන ඒ කිරුළ 2015 වසරෙදි ලබාගන්න හැකි වුණා. ඒ තුළිනුත් රංගනයට අවස්ථාව ලැබුණත් අධ්‍යාපන කටයුතු සඳහා කාලය වෙන් කරන්න වුණු නිසා නිර්මාණ භාරගත්තෙ නැහැ. නමුත් වේදිකාවත් එක්ක ගනුදෙනු කළා. මේ වෙද්දි මම අධ්‍යාපන කටයුතු එක්ක නාට්‍ය හා රංග කලා විශේෂ උපාධිධාරිනියක් වෙලා ඉන්නවා. ඒ හැමදේකින්ම පසුව තමයි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණේ. දැන් ඉතින් කලා කටයුතු කිහිපයක් එක්කම මේ වෙද්දි එකතුවෙලා ඉන්නවා. 

අද රංගන ශිල්පිනියක් විදියට ලැබෙන ප්‍රතිචාර ගැන තෘප්තිමත් ද?
අද මාව මේ විදියට පුංචි තිරයෙන් දකින්න ඉද්දි තාත්තා අපි ළඟ නැහැ. හිටිය නම් ගොඩක් සතුටු වෙයි. නමුත් අම්මයි මල්ලියි මේ වෙද්දි මගේ ළඟ ශක්තියක් වෙලා ඉන්නවා. රංගනය මගේ වෘත්තිය කරගන්නවට නම් ගෙදරින් කැමැත්තක් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ. නමුත් ඒ වෙනුවෙන් ද‌ායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක් එන්නත් තියෙනවා. තව ආරාධනා ලැබුණු නිර්මාණත් තියෙනවා. ඒ හැමදේකින්ම මට පුළුවන් විදියට ඒවට සම්බන්ධ වෙලා ලැබෙන චරිතවලට උපරිම කැපකිරීමකින් කරමින් ඒ වෙනුවෙන් දායකවීම තමයි මගේ අරමුණ. 

෴ ධනු විජේරත්න
ඡායාරූප - සජීව ලක්ෂාන්
උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප - සැදැල්ල

Classified_Ad

Classified_Ad_News_Bottom