
මේ පිළිතුරු නැති ප්‍රශ්න බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි යනු හොලිවුඩයට මුදල් සොයන්න කියාපු තේමාවකි. අන්තර් ජාලය හා සම්බන්ධ වී සමාජ මාධ්‍ය හරහා ගෝලීය කුමන්ත්‍රණ ගැන නිතර දෙවේලේ දොඩන අයට පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි යනු හරි අපූරු මාතෘකාවකි.
දශක ගණනක් ගත වී ඇතත්, පිටසක්වළයන්, පියාඹන පීරිසි ගැන කවුරුන් හෝ කුමක් හෝ පැවැසුවොත්, අප කාගේත් අවධානය ඊට යොමු වන්නේ නිරායාසයෙනි. ඒ අතරින් ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පුද්ගලයකු පිටසක්වළයන් ගැන හෝ පියාඹන පීරිසි ගැන හෝ මොනවා හෝ කීවොත් ඊට වැඩි අවධානයක් යොමු වෙයි.
පිටසක්වළයන් සහ පියාඹන පීරිසි යනු ඇමෙරිකානුවන්ට නම් ජනප්‍රිය කුහුල දනවන මාතෘකාවකි.
පිටසක්වළයන් ගැනත් පියාඹන පීරිසි ගැනත් නිරන්තරයෙන් අසන්න ලැබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. පියාඹන පීරිසි නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ ද ඇමෙරිකාවට ඉහළ අහසේය. පිටසක්වළ ජීවීන් ගැන සොයා බලන රහස් හමුදා කඳවුරු ඇමෙරිකාවේ ඇතැයි පැවැසෙයි. අල්ලා ගත් පිටසක්වළ ජීවීන්, කඩා වැටුණු පිටසක්වළ යානාවල සුන්බුන් එම කඳවුරු තුළ ඇතැයි පැවැසෙයි. අල්ලා ගත් පිටසක්වළයන් පර්යේෂණ සඳහා යොදා ගන්නා බවත්, ඔවුන්ගේ තාක්ෂණය ඇමෙරිකානුවන් සතු බවත් පැවැසෙයි.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයාය. ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු පළමු කළු ජාතිකයා ඔබාමාය. දියණියන් දෙදෙනකුගේ පියකු වන ඔබාමා, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වෙද්දී, එම ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා ද විය. ඔබාමා නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් දේශපාලන පක්ෂයයි. ඔබාමා 2009 වසරේ සිට 2017 දක්වා සිය ධුර කාල දෙකම සම්පූර්ණ කළේය.
2017 ජනවාරි 20 ජනාධිපති ධුරයට සමුදුන් අතර, වත්මන් ජනාධිපති ලෙස කටයුතු කරන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුරය ආරම්භ කළේ 2017 වසරේදීය.
ජනාධිපති ධුරයෙන් සමුගත් ඔබාමා, බිරිඳ මිෂෙල් ද සමඟ තවමත් ක්‍රියාකාරී දේශපාලනයේ රැඳී සිටී. වත්වන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිරන්තරයෙන් ගැටුම් ද ඇති කර ගනී. කරුණු කාරණා එසේ සිදුවෙද්දී, පසුගිය දා ඔබාමා කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් කැලැඹීමක් ඇති විය. ඔබාමා එම ප්‍රකාශය කළේ පිටසක්වළයන් සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.
ඔබාමා වැනි ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රබලයකු පිටසක්වළයන් ගැන හෝ පියාඹන පීරිසි ගැන හෝ එක වචනයක් කීවත්, එය අසන්න ඉදිරිපත් වන පිරිස අතිමහත්ය.
බැරැක් ඔබාමා පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළ කළේ අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවක් (පොඩ්කාස්ට්) අතරතුරේය.
එම සාකච්ඡාව මෙහෙය වූයේ බ්‍රයන් ටේලර් කෝහෙන්ය. සාකච්ඡාවට ප්‍රධාන වශයෙන් තේමා වූයේ ඇමෙරිකාවේ දේශපාලනය සහ ගෝලීය කටයුතුය. ඒත්, හිටිහැටියේ බ්‍රයන් ටේලර් කෝහෙන් පිටසක්වළ ජීවීන් ගැන ඔබාමාගෙන් ප්‍රශ්න කළේය.

බ්‍රයන් : “පිටසක්වළ ජීවීන් ඇත්තටම ඉන්නවාද?”
ඔබාමා : “ඔව්. ඒත් මා ඔවුන් දැකලා නැහැ. ඒ වගේමයි පිටසක්වළ ජීවීන්
රඳවාගෙන ඉන්නවා යැයි කියන ... ”
බ්‍රයන් : “ඒරියා 51 ...”
ඔබාමා : “ඔව්, ඒරියා 51 කඳවුර. එතැන භූගතව, රහස් පර්යේෂණාගාර ඇත්තේ නැහැ. එහෙම රහස් පර්යේෂණාගාර තියෙනවා නං, ඒක සැබැවින්ම මහා කුමන්ත්‍රණයක්. ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් පවා සියලු දේ සඟවනවා වෙන්න පුළුවන්.”
බ්‍රයන් : “ජනාධිපති ධුරයට පත්වුණු සැණින් ඔබට අහන්න ඕනෑ වුණු ප්‍රශ්නය කුමක්ද?”
ඔබාමා : “පිටසක්වළයෝ කොහෙද ඉන්නේ? ඒක තමයි ප්‍රශ්නය. මං ඒක ඇහුවා.”
එය හැබෑවකි. 2009 දී ඇමෙරිකන් ජනාධිපති ලෙස ඔබාමා දිවුරුම් දීමෙන් පසු පළමුවෙන්ම කළ රාජකාරියක් වන්නේ, පිටසක්වළ ජීවීන් හැබෑවක්දැයි සොයා බැලීමත්, ඇමෙරිකන් රජය දශක ගණනක් තිස්සේ පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි ගැන රහස් සඟවාගෙන සිටිනවා ද යන්න සොයා බැලීමත්ය.
සම්මුඛ සාකච්ඡාවෙන් පසු, සමාජ මාධ්‍ය කැලඹිණි. පිටසක්වළ ජීවීන් හැබෑවක් යැයි ඔබාමා පිළිගන්නවා යැයි පෝස්ට් පළ වන්න විය. වීඩියෝ දසුන් පළ වන්න විය. පිටසක්වළයන් හැබෑවක් වුවත්, ඒරියා 51 රහස් හමුදා කඳවුරේ පිටසක්වළයන් හෝ පියාඹන පීරිසි හෝ නැහැ යැයි ඔබාමා පිළිගන්නවා යැයි ද පෝස්ට් පළ වන්න විය.
ඒ අනුව, යළිත් වරක් ඒරියා 51 රහස් හමුදා කඳවුර කරළියට පැමිණියේය.
ඒරියා 51 යනු ඇමෙරිකානුවන් අතරේ පමණක් නොව, ලෝකවාසීන් අතරේ ද ප්‍රසිද්ධ රහසකි. මෙම කඳවුර ඇත්තේ ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාරයේය. පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි පිළිබඳ කතාන්දර වල කේන්ද්‍රස්ථානය මෙයයි. නිල වශයෙන් මෙම ස්ථානය ගෲම් ලේක් යන නමින් හඳුන්වන අතර, මෙය ඇමරිකානු ගුවන් හමුදාවට අයත් අතිශය රහසිගත පරීක්ෂණ මධ්‍යස්ථානයකි.
වසර ගණනාවක් යනතුරු ඇමෙරිකා රජය මෙවැනි ස්ථානයක් පවතින බව පවා පිළිගත්තේ නැත. කෙසේ නමුත් 2013 දී ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය විසින් නිකුත් කළ වාර්තා මගින් මෙහි පැවැත්ම නිල වශයෙන් තහවුරු කරන ලදී. 2013 වෙද්දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ද ඔබාමාය.
1950 සහ 60 දශකවලදී ඒරියා 51 ආශ්‍රිතව අසාමාන්‍ය ලෙස පියාසර කරන වස්තූන් දුටු බවට බොහෝ වාර්තා පළ විය. මේවා පියාඹන පීරිසි ලෙස ජනප්‍රිය වුවද, විද්‍යාත්මකව සහ ඉතිහාසගතව බලන විට ඒ පිටුපස ඇත්තේ වෙනත් කතාවකි. නිරවි යුද සමයේ, ඇමෙරිකන් නාවික හමුදාව ඔවුන්ගේ නවතම පර්යේෂණ ගුවන් යානා අත්හදා බැලුවේ මෙම ප්‍රදේශයේය.
යූ2 සහ එස්.ආර්. 71 බ්ලැක්බර්ඩ් වැනි අතිශය වේගවත්, ඉහළ අහසේ පියාසර කරන ඔත්තු බලන යානා පරීක්ෂා කළේ මෙම ස්ථානයට ඉහළ අහසේය. එදා සාමාන්‍ය ගුවන් යානා වලට වඩා දස ගුණයකට වඩා ඉහළින් පියාසර කළ මෙම යානා, සූර්යාලෝකය පරාවර්තනය කිරීම නිසා පහළ සිට බලන්නන්ට දීප්තිමත් ලෝහමය වස්තූන් ලෙස දිස් වුණු බව පැවැසෙයි. ඒ අනුව, බොහෝ දෙනකුට ඒවා පියාඹන පීරිසි විය.
එසේ වුවත්, 1947 වසරේ දී රොස්වෙල් පළාතට කඩා වැටුණු අද්භූත වස්තුවක් පිටසක්වල යානයක් යැයි ප්‍රසිද්ධියට පත්විය. එම යානයේ සිට තුවාල ලැබූ පිටසක්වළ ජීවීන් සහ යානයේ සුන්බුන් ඒරියා 51 වෙත රැගෙන ගිය බවට දැඩි මතයක් පවතී. ඇමෙරිකන් හමුදාව සහ රජය මේ සම්බන්ධයෙන් පවසන්නේ, කඩා වැටුණේ එදා සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ සෝවියට්වරුන් ඔත්තු බැලීමට යොදා ගත් රහසිගත බැලූනයක් බවය. ඒත් මෙහි ඇත්ත නැත්ත තවමත් ලොවට අබිරහසකි.
හිටපු ජනාධිපති ඔබාමා කළ එම ප්‍රකාශය මුල්කොට ගනිමින්, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබාමාට දොස් නැගීමට අමතක කළේ නැත. පිටසක්වළයන් හැබෑවක් යැයි කියමින්, ඔබාමා ඇමෙරිකා රජයේ රහස් හෙළි කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප් චෝදනා කළේය.
ඒ සමඟම ට්‍රම්ප් ඇමෙරිකන් රාජ්‍ය ආයතනවලට නියෝගයක් ද නිකුත් කළේය. ඒ, ඇමෙරිකා රජය හෝ හමුදාව සතුව පිටසක්වළයන් ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන හෝ රහස් ලිපිගොනු ඇත්නම් වහාම ඒවා ප්‍රසිද්ධියට පත් කරන ලෙසටය.
ට්‍රම්ප් ඔබාමාට දොස් නගන්න වූයේ සිය එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයෙන් ගමන් කරමින් සිටිද්දීය. එම අවස්ථාවේදී ඇමෙරිකන් මාධ්‍යවේදීහු කණ්ඩායමක් ද යානයේ සිටියහ.
එම මාධ්‍යවේදීන්, පෙරළා ට්‍රම්ප්ගෙන් විමසන්න වූයේ පිටසක්වළ ජීවීන් සැබෑවක්ද යන්නය. “ඇත්තම කියනවා නම්, මම ඒක දන්නේ නැහැ. පිටසක්වළයන් හැබෑවක් ද පියාඹන පීරිසි හැබෑවක්ද මා දන්නේ නැහැ” ට්‍රම්ප් පිළිතුරු දුන්නේය.
ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි