
සැබෑ සඳට අමතරව චන්ද්‍රයන් කිහිපයක් දර්ශනය වීම, විද්‍යාත්මකව හඳුන්වන්නේ 'පැරසලීන්' (Paraselene) හෙවත් 'මූන් ඩෝග්ස්' (Moon Dogs) සංසිද්ධිය යනුවෙනි. මෙය කිසිසේත්ම පිටසක්වල බලපෑමක් හෝ අද්භූත සිදුවීමක් නම් නොවෙයි. මෙම ඉතා සරල වායුගෝලයේ සිදුවන පිරිසිදු භෞතික විද්‍යාත්මක සංසිද්ධියකි.
මෙම අපූරු සංසිද්ධියට ප්‍රධානතම හේතුව පොළොවේ සිට අඩි 20,000ක් පමණ ඉහළ අහසේ පවතින සිරස් (Cirrus) වලාකුළු වල ඇති අතිශය කුඩා අයිස් ස්ඵටික බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම අයිස් ස්ඵටික බොහෝ විට පැතලි, ෂඩස්‍රාකාර හැඩයකින් යුක්ත වේ.
පුන් සඳෙන් නිකුත් වන ආලෝකය මෙම අයිස් ස්ඵටික හරහා ගමන් කරන විට, ඒවා කුඩා ප්‍රිස්මයන් මෙන් ක්‍රියා කරමින් ආලෝකය වර්තනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ සඳට දෙපසින් තවත් ආලෝකවත් වළලු හෝ සඳකට සමාන ආලෝක ලප නිර්මාණය වී අහසේ චන්ද්‍රයන් කිහිපයක් ඇති බවට පෙනෙයි.
දවල් කාලයේදී සූර්යයා මුල් කරගෙන ද මෙවැනිම සංසිද්ධියක් සිදුවන අතර එය 'සන් ඩෝග්' (Sun Dog) ලෙස හඳුන්වයි. කෙසේ වෙතත්, සූර්යාලෝකයට සාපේක්ෂව චන්ද්‍රාලෝකය ඉතා දුර්වල බැවින්, රාත්‍රී කාලයේදී මෙම 'මූන් ඩෝග්ස්' දැකීම ඉතා අපහසුය. මෙය පැහැදිලිව දර්ශනය වීමට නම් ඉතා දීප්තිමත් පුර පසළොස්වක සඳක්, නිවැරදි උසින් පිහිටි වලාකුළු සහ අවම ආලෝක දූෂණය වැනි පරිපූර්ණ වායුගෝලීය තත්ත්වයන් රාශියක් එකවර සම්පූර්ණ විය යුතුය.
අතීතයේදී බොහෝ දෙනා විශ්වාස කළේ අහසේ මෙවැනි වළලු හෝ අමතර ආලෝක ලප දර්ශනය වීම ඉදිරියේදී පැමිණෙන කුණාටු සහිත අයහපත් කාලගුණයක සලකුණක් බවය. විද්‍යාත්මකව බැලූ විට ද එය සත්‍යයකි, මන්ද මෙයට හේතු වන සිරස් වලාකුළු බොහෝ විට වර්ෂාව හෝ කාලගුණ විපර්යාසවල පෙරනිමිති ලෙස සැලකෙයි.
මෙම සංසිද්ධිය ඉතා කෙටි කාලයකට පමණක් සීමා වන අතර, වලාකුළු චලනය වීමත් සමඟ ක්ෂණයකින් අහසින් මැකී යයි.
පැරසලීන් සංසිද්ධිය බොහෝ විට හටගන්නේ අංශක 22ක ප්‍රභා මණ්ඩලයක් (22-degree halo) ආශ්‍රිතවය. මෙහි ඇති විශේෂත්වය නම්, අහසේ පාවෙන අයිස් ස්ඵටික හරහා සඳ එළිය ගමන් කරන විට එය වර්තනය වන්නේ හරියටම අංශක 22ක කෝණයකිනි.
මේ නිසා සැබෑ සඳුගේ සිට අංශක 22ක් වම් පසින් සහ දකුණු පසින් මෙම බොරු චන්ද්‍රයන් නිර්මාණය වේ. සඳ අහසේ පහළින් (ක්ෂිතිජයට ආසන්නව) ඇති විට මේවා වඩාත් පැහැදිලිව පෙනෙන අතර, සඳ ඉහළට යත්ම මේවායේ දීප්තිය අඩු වී යයි.
මූන් ඩෝග්ස් සෑම විටම සුදු පැහැතිව දකින්න ලැබෙන්නේ නැත.
ආලෝකය වර්තනය වීමේදී ප්‍රිස්මයකින් මෙන් වර්ණ වෙන් වීමක් සිදුවන නිසා, සමහර අවස්ථාවලදී මේවායේ ඇතුළු පැත්ත (සඳ දෙසට ඇති පැත්ත) රතු පැහැයට හුරු තැඹිලි පාටින් දිස්වේ. පිටත දෙසට යත්ම එය නිල් හෝ සුදු පැහැයකට හැරේ.
කෙසේ වෙතත්, රාත්‍රී කාලයේදී අපේ ඇස්වලට වර්ණ හඳුනාගැනීමේ හැකියාව අඩු බැවින් බොහෝ විට අපට මේවා පෙනෙන්නේ සුදු පැහැති ආලෝක පිඬු ලෙසයි.
මෙම දර්ශනය මැවීමට නම් අයිස් ස්ඵටිකවල හැඩය අතිශය වැදගත් වේ. මේවා ෂඩස්‍රාකාර (පැති හයක් ඇති) තැටි මෙන් විය යුතුය.
මෙම ස්ඵටික වාතයේ පාවෙන විට ඒවායේ පැතලි මුහුණත පොළොවට සමාන්තරව පිහිටා තිබිය යුතුය. අයිස් ස්ඵටික අවුල් සහගත ලෙස කැරකෙමින් පවතින්නේ නම් අපට පෙනෙන්නේ සම්පූර්ණ වටකුරු වළල්ලක් (Halo) පමණි. නමුත් ඒවා නිවැරදිව පෙළ ගැසී තිබුණහොත් පමණක් අපට සඳවල් කිහිපයක් ලෙස පෙනෙන පැරසලීන් ලප නිර්මාණය වේ.
අතීතයේදී නාවිකයන් සහ ගොවීන් මෙය හැඳින්වූයේ "සඳේ අනතුරු ඇඟවීම" ලෙසය.
විද්‍යාත්මකව බැලූ විට, පැරසලීන් ඇති වීමට හේතු වන සිරස් (Cirrus) වලාකුළු බොහෝ විට ඇති වන්නේ වායුගෝලයේ ඉහළ ස්ථරවල තෙතමනය වැඩි වූ විටයි. මෙවැනි වලාකුළු ඇති වී පැය 12ත් 24ත් අතර කාලයකදී සාමාන්‍යයෙන් වර්ෂාව හෝ හිම පතනය සහිත අඩු පීඩන කලාපයක් (Warm front) පැමිණෙන බව කාලගුණ විද්‍යාඥයන් පවා පිළිගනී.
මොස්කව් නුවර වැසියන් ට මෙම දුර්ලභ මෙන්ම අපූරු සංසිද්ධිය ඡායාරූපයට නැගීම විශාල ජයග්‍රහණයකි.
ඊට හේතුව, කැමරාවකට හසු කර ගැනීමේදී සඳේ අධික දීප්තිය නිසා පැරසලීන් ලප ඉක්මනින්ම මැකී යන (Overexposed) බැවිනි. මෙය ඉතා සියුම් ආලෝක තත්ත්වයක් බැවින්, ඉතා උසස් තත්ත්වයේ කැමරා උපකරණ හෝ දක්ෂ ඡායාරූප ශිල්පියකුට මිස සාමාන්‍ය දුරකථනයකින් මෙය එහි සැබෑ ස්වරූපයෙන් හසු කර ගැනීම අභියෝගයකි.
ලුසිත ජයමාන්න
Hashem Al-Ghaili ඇසුරිනි