
අපේ ජීවිතයේ සමීපතමයන්, අපගේ සෞඛ්‍යයට සහ අපේ සතුටට විශාල ශක්තියක් බව රහසක් නොවේ. ඒත් එසේ නොවන අවස්ථා ද එමටය. නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ අපගේ සමාජ ජාලය තුළ සිටින, සරලව කීවොත්, ‘අපේ ඔළුව කන කරදරකාරී පුද්ගලයන්’ අප නොදැනුවත්වම, අකාලයේ වයසට යන බවය.
ලිමරික් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කළ අධ්‍යයනයට අනුව, නිතරම මානසික පීඩනයක් ලබා දෙන පුද්ගලයන් අප අවට සිටින්නේ නම්, ඔවුන් අපේ පවුලේ අය හෝ වේවා මිතුරන් හෝ වේවා, අපේ ශරීරය අකාලයේ මහලු වීමට සෘජුව දායක වෙයි. ලිමරික් විශ්ව විද්‍යාලය සිදු කළ අධ්‍යයනයට සහභාගී කරගත් අයගෙන් සියයට 30 කට පමණ මෙවැනි අවම වශයෙන් එක් ‘කරදරකාරී’ පුද්ගලයකු හෝ තම ජීවිතය තුළ සිටින බව අනාවරණය විය.
කෙටි කාලීන ආතතිය (Stress) අපට අභියෝග ජය ගැනීමට උදවු වුවද, දීර්ඝ කාලීන ආතතිය අපේ සිරුර ඇතුළතින් දිරාපත් කරයි. පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට අපගේ සමාජ ජාලයේ සිටින කරදරකාරී පුද්ගලයන් නිසා ජීව විද්‍යාත්මක වයස මාස 9 කින් පමණ වැඩිවෙයි. සිරුර මහලු වීමේ වේගය සියයට 1.5 කින් වේගවත් වෙයි.
වඩාත් පුදුම සහගත කරුණ නම්, මෙම අහිතකර බලපෑම මිතුරන්ට වඩා පවුලේ සාමාජිකයන් (දෙමාපියන් හෝ දරුවන්) සම්බන්ධයෙන් වැඩි වීමය. මිතුරකු හෝ මිතුරියකගෙන් ඈත් වීම පහසු වුවත්, පවුලේ සබඳතා අත්හැර දැමීම අපහසු වීම ඊට හේතුවය. විශ්ව විද්‍යාලය සිදු කළ එම පර්යේෂණයට අනුව මිතුරන් අතර කරදරකාරයන් සිටින්නේ සියයට 3.5 ක් වැනි සුළු ප්‍රතිශතයකි. කරදරකාරී පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිශතය සියයට 10 ක් තරම් ඉහළය.
Science Alart ඇසුරිනි