
විපතට පත්වුණු නාවිකයන් උදවු ඉල්ලද්දී, ඔවුන්ට අප නාවික හමුදාවෙන් මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ද උදවු ලැබුණි. ජීවිත තිස් දෙකක් බේරා ගැනුණි. අයිරිස් ඩේනා නෞකාව සමඟ මුළු ලෝකයේම අවධානය අප ශ්‍රී ලංකාවට යොමු වෙද්දී, ඇන්ජින් අක්‍රිය වුණු තවත් ඉරාන යුද නෞකාවක් අපෙන් උදවු ඉල්ලුවේය. ඒ, අයිරිස් බුෂේර් ය.
අයිරිස් බුෂේර් නෞකාව ශ්‍රී ලංකාවෙන් උදවු ඉල්ලා සිටියේ එවැනි තත්ත්වයකදීය. නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් දෙසීයකට වැඩි පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කෙරුණි. අයිරිස් බුෂේර් නෞකාව සම්බන්ධයෙන්, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙන්වා දුන්නේ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවය. නෞකාවේ 208 ක පිරිසක් සිටින බවත්, ඔවුන්ව වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඉරානය සතු නාවික බලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. ඒ ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ නාවික හමුදාව සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව වශයෙනි. පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව තම බලය පවත්වා ගැනීම සඳහා ඉරානය පසුගිය කාලයේ ඔවුන්ගේ නාවික තාක්ෂණය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගත් බව පැවැසෙයි. ඔවුන් සතුව ප්‍රහාරක යුද නෞකා (Destroyers), සැහැල්ලු යුද නෞකා (Frigates) සහ සබ්මැරීන රැසක් පවතී.
ඇමෙරිකාවට අනුව, මේ වනවිට ඔවුන්ගේ ප්‍රහාරවලින් ගිල්වා දමා ඇති ඉරාන නෞකා සහ නවික යාත්‍රා ගණන 30 කට වැඩිය. ඒ අතරේ ප්‍රහාරක ඩ්‍රෝන යානා රැගත් නෞකාවක් ද වෙයි.
සබ්මැරීන ප්‍රහාරයෙන් විනාශ වුණු අයිරිස් ඩේනා මෙන් නොව අයිරිස් බුෂේර් යනු ඉරාන නාවික හමුදාව සතු බණ්ඩාර් අබ්බාස් වර්ගයට අයත් අයත් යුද නෞකාවකි. අයිරිස් ඩේනා සැහැල්ලු යුද නෞකාවකි.
අයිරිස් බුෂේර් සටන්වලට යොදා ගන්නා නෞකාවකට වඩා, සටන් පෙරමුණේ සිටින අනෙකුත් යුද නැව් සඳහා අවශ්‍ය පහසුකම් එනම් ඉන්ධන, ආහාර, ජලය සහ පතොරම් ලබාදෙන ජංගම මධ්‍යස්ථානයක් වැනිය. මුහුද මැදදී අනෙකුත් නැව්වලට අවශ්‍ය ද්‍රව්‍ය නැවත පිරවීම මෙහි ප්‍රධාන රාජකාරියයි. මෙය ඉරාන නාවික හමුදාවට වෙරළෙන් ඔබ්බට ගොස් වැඩි කාලයක් සාගරයේ රැඳී සිටීමට ශක්තියක් වෙයි.
අයිරිස් බුෂේර් මීටර් 100කට වඩා දිගින් යුක්ත වන අතර, ටොන් 4,500 කට වඩා වැඩි බරකින් යුක්ත බව ද පැවැසෙයි. මෙහි හෙලිකොප්ටර් අංගනයක් පවතින බැවින්, මුහුදේ සිදුවන මෙහෙයුම් සඳහා ගුවන් සහාය ලබා දීමට ද හැකියාව ඇත. ඉරානයට බණ්ඩාර් අබ්බාස් වර්ගයට අයත් නෞකා ඇත්තේ දෙකක් පමණක් යැයි ද පැවැසෙයි.
අයිරිස් බුෂේර් එයින් එකකි.
ඉරාන වැසියන් පීඩාවට පත් කළ ඉස්ලාමීය පාලනය අවසන් කිරීමේ අරමුණින්, දශක ගණනක් තිස්සේ ඉරාන සිදු කළ ත්‍රස්ත ක්‍රියාවලට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් සහ පරමානු බෝම්බ නිපදවීමට නොහැකි ලෙස ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අඩපණ කිරීමේ අරමුණින්, ඇමෙරිකාව, ‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 28 වැනිදා ඊශ්‍රායල ද සමඟ හවුලේය.
ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ඊයේ (6) හත්වන දිනයට එලැඹුණු අතර, ඉරානය සහ මැදපෙරදිග අනෙකුත් රටවල් පුරා ප්‍රහාර අඛණ්ඩව සිදුවෙයි. ඉරානය, අසල්වැසි මැදපෙරදිග රටවලට පිහිටි ඇමෙරිකන් කඳවුරුවලට, තානාපති කාර්යාලවලට සහ කොන්සල් කාර්යාලවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරයි. පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයි.
‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුමේ පළමු පැය 100 සඳහා ඇමෙරිකාවට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 3.7කි. එය දිනකට දළ වශයෙන් ඩොලර් මිලියන 891ක වියදමකි. වියදම් වුණු මෙම මුදලින් වැඩි කොටසක්, එනම් ඩොලර් බිලියන 3.5ක්ම, අයවැය මගින් වෙන් කර නොමැති බව ද පැවැසෙයි.
ඇමෙරිකන් කොංග්‍රසය හෙවත් පාර්ලිමේන්තුව, ට්‍රම්ප්ගේ යුද බලතල කප්පාදු කිරීමට උත්සාහ කළේ ඒ අනුවය. ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් යෝජනාව ඇමෙරිකන් සනෙට් මණ්ඩලය හමුවේ පරාජය විය. ට්‍රම්ප්ගේ යුද බලතල සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එම බලතල කප්පාදු කළ යුතු යැයි යෝජනා කළේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයයි. ඩිමොක්‍රටික් පක්ෂයේ යෝජනාව, ඡන්ද 53-47ක් ලෙස පරාජයට පත් විය. ට්‍රම්ප් ඉරානයට පහර දෙන්නේ කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඔහුට හිමි බලතල අනුවය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය උත්සාහ ගත්තේ එම බලතල කප්පාදු කිරීමටය.
යෝජනාව සම්මත වූයේ නම්, කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානය තුළ සිදුකරන ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග නතර කිරීමට ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි පැවැසෙයි. ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් තර්ක කරන්නේ ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නොසලකා හැර ඇති බවත්, යුද්ධය සඳහා විවිධ අවස්ථාවල පරස්පර හේතු ඉදිරිපත් කර ඇති බවත්ය.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන ඊයේ (6) 1,230 පසු කළේය.
ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට අනුව, ඉරාන අහසේ බලය ඇත්තේ ඔවුන්ටය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර ගණන 2,500 කට වැඩිය. ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් සියයට 80 ක් මේවනවිට විනාශ කර දමා අවසන් බව පැවැසෙයි. අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු, අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීමට ඉරානය සූදානම් වෙයි. ඊට සුදුස්සා ලෙස මොජ්ටබා කමේනි තෝරාගෙන ඇතැයි ද පැවැසෙයි.
56 හැවිරිදි මොජ්ටබා කමේනි යනු අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රායාය.
ඉරානයට උත්තරීතර නායකයකු අවශ්‍ය නම්, ඒ නායකයා කවුරුන්දැයි තීරණය කරන්නේ තමන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත. “වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට මා කැමැති නැහැ. ඉතිං මා ඔහු ධුරයෙන් ඉවත් කළා. දැන් වැඩ බලන්නේ ඩෙල්සි රොඩ්රීගස්. ඇයට මා එක්ක ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ ඉරානයේ උත්තරීතර නායකයා කවුරුන් විය යුතුදැයි තීරණය කරන්නේ මම.” යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඇමෙරිකන් හමුදාව පවසන්නේ, යුද්ධය ආරම්භ වී දින හතක් යද්දී, ඉරානයෙන් එල්ල වන බැලස්ටික් මිසයිල ප්‍රහාර සියයට 90 කින් ද ඩ්‍රෝන ප්‍රහාර සියයට 83 කින් ද අඩුවී ඇති බවය.
ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල සහ ඩ්‍රෝන යානා විනාශ කර දැමීමත් සමඟ, කුවේට් නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගැනුණි.
ඉරාන මිසයිලයක් බහරේනයේ කාර්මික නගරයක පිහිටි රජයට අයත් තෙල් පිරිපහදුවකට පතිත වූ අතර, ඉන් හටගත් ගින්න පාලනය කිරීමට සමත්ව විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැවැසුවේ, ඉරානය එල්ල කළ මිසයිල කිහිපයක් සහ ඩ්‍රෝන යානා 120කට වැඩි ප්‍රමාණයක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්ථ කළ බවයි. කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට පෙරේදා (5) බල පිපිරුම් හඬවල් ඇසුණු අතර, එරටට ද ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බව වාර්තා වේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ දහස් සංඛ්‍යාත පිරිසක් දැනටමත් කලාපයෙන් පිටව ගොස් ඇති බවය. ඔවුන්ගෙන් බහුතරයක් ස්වයංව පිටව ගිය ද, තවමත් ඉවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින පුරවැසියන් සඳහා රජය මගින් විශේෂ ගුවන් යානා සූදානම් කරමින් පවතී.
ඉරාන විප්ලවීය හමුදාව, ඊයේ (6) දිනයේ ද ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය සහ මධ්‍යම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව නිවේදනය කෙරුණි.
මේ අතර, පවතින ආරක්ෂක තර්ජන හේතුවෙන්, ජෙරුසලම පැරණි නගරයේ පිහිටි සියලුම සිද්ධස්ථාන ඊයේ (6) වසා දැමුණි. සිකුරාදා ආගමික වතාවත් අවලංගු කර ඇත. පසුගිය පැය 72 තුළ ඉරානයේ ඉලක්ක 200කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් හමුදාව ඊයේ (6) පැවැසීය.
එම ප්‍රහාරවලට ඉරාන හමුදාවට අයත් බැලස්ටික් මිසයිල දියත් කරන ස්ථාන සහ නාවික යාත්‍රා ද ඇතුළත් විය. ට්‍රම්ප් මෙන්ම ඉරාන ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ද ඊයේ (6) පෙන්වා දුන්නේ, ඉරානය විනාශ වෙමින් පවතින බවය.
ඉරානය ගුවන් හමුදාවක් හෝ ගුවන් ආරක්ෂණ පද්ධතියක් නොමැති රාජ්‍යයක් බවය. මේ අතර, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපීය අස්ථාවරත්වයක් ඇති කළ බවට එල්ල වන විවේචන ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. පවතින යුද තත්ත්වය හේතුවෙන් ඇමෙරිකානු මූල්‍ය වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක්ව ඇතැයි ද පැවැසෙයි.
යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාමත් සමඟ සතිය මුලදී ඩව් ජෝන්ස් දර්ශකය 1,000කට වඩා (සියයට 2.2කින්) පහත වැටුණු බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
හටගත් මෙම යුද්ධය, තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කරයි.
ලෝකයේ බල කඳවුරු දෙක අතරින්, ඉරානය අයත් වන්නේ රුසියාව සහ චීනය ආධිපත්‍ය පතුරුවන බල කඳවුරටය. ඉරානයේ බලවත්ම රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන් දෙදෙනා වන්නේ රුසියාව සහ චීනයයි. හටගත් මේ යුද්ධයේ දී රුසියාව සහ චීනය ඉරානයට සහාය දැක්වීමක් නොකරන්නේ ඇයි? ඉරානයේ ඉස්ලාමීය නායකත්වය සහ හමුදා නායකත්වය පමණක් නොව, ඉරාන සිවිල් වැසියන් පවා මරා දැමීමට ඉඩ දී රුසියාව සහ චීනය බලා සිටින්නේ ඇයි? මෙය බොහෝ දෙනාට ගැටලුවකි.
රුසියාව, අසල්වැසි යුක්රේනය සමග යුද වදිමින් සිටී. එබැවින් හමුදාමය වශයෙන් රුසියාවට ඉරානයේ සහායට පැමිණිම කළ නොහැකිය. රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ සතියකින් යුක්රේනය අල්ලා ගන්නවා කියමිනි. ඒත් අද රුසියන් යුක්රේන යුද්ධයට වසර පහක් සපිරී ඇත.
චීනය දිනෙන් දින උත්සාහ ගනිමින් සිටින්නේ ආර්ථිකමය වශයෙන් ලෝක බලවතා වීමටය.
ඇමෙරිකාව, ඉරානයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය, වක්‍රව චීනයට එරෙහිව එසේත් නැතිනම් චීනය ගෝලීය බලවතකු වීමට එරෙහිව එල්ල කළ අතුල් පහරක් බව ද රහසක් නොවෙයි. හේතුව, ඉරානය වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ චීනය සමග වීම නිසාය. එසේ වුවත්, කෙසේ නමුත්, පුද්ගලයන් 1,000කට වැඩි පිරිසකට මරු කැඳවමින් ඉරානයට එල්ල වන ඇමෙරිකන් සහ ඊශ්‍රායල ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද අවධාරණය කර ඇත.
ඉකුත් 28 වැනිදා ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඉරානයට, පළමුවෙන් එල්ල වුණු ප්‍රහාර මාලාව අවසන් වී, දුම් රොටු පහව යද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඇතුළු ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනා, හමුදා සහ බුද්ධි අංශ නායකයන් සියලු දෙනා එක පොදියට මරා දමා තිබුණි. ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය, ‘මානුෂීය සදාචාරයේ සියලු සම්මත නින්දිත ලෙස උල්ලංඝනය කිරීමක්’ යැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබුණි.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් ට දුරකතනයෙන් කතා කළේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දොස් නැගුවේය. ‘බලහත්කාරයෙන් ප්‍රශ්න සැබවින්ම විසඳන්න බැහැ’ යැයි එම අවස්ථාවේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, අවධාරණය කළේය. ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදෙන්නැයි ඉල්ලීමක් ද සියලු පාර්ශ්වයන්ගෙන් කළේය. ඊට අමතරව රුසියාව සහ චීනය එක්ව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ද ඉල්ලා ඇත.
ඇමෙරිකාව මෙන්ම, රුසියාව සහ චීනය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ය. මෙම ප්‍රතිචාරය හරහා ඉරානය, රුසියාව සහ චීනය අතර පවතින සමීප සබඳතාවය පිළිබිඹු වෙයි.
රුසියාව සහ චීනය ඇඟ බේරාගෙන පැත්තකට වුවත්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ, දැනට ඉරානයේ සිටින උතුරු කොරියානුවන්ට ඇමෙරිකන් හෝ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත්, තමන් වහාම යුද්ධයට අවතීර්ණ වන බවය.
ඉරානයේ සිටින තම වැසියන්ට අනතුරක් වුවහොත්, තමන් ඒ ගැන සාකච්ඡා කරමින් නොසිටින බවත්, සෘජුව යුද්ධයට අවතීරණ වන බවත් කොරියානු නායකයා අනතුරු අඟවනා ඇත. උතුරු කොරියාව, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධය. උතුරු කොරියාවට එරට පිහිටීම අනුව, ඉතා ඉක්මනින් සහ නිවැරදිව ඇමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීම ද කළ හැකිය. එබැවින් මෙම අනතුරු ඇඟවීම පහසුවෙන් බැහැර කළ නොහැකි බව ඇමෙරිකව හොඳින් දනී.
ලුසිත ජයමාන්න
Al Jazeera ඇසුරිනි