පොඩි ට්‍රම්ප්ගේ කෙරුවාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 5, 2026

පොඩි ට්‍රම්ප්ගේ කෙරුවාව

ඇමෙරිකා ඉරාන යුද්ධය අප කාගේත් ජීවිතවලට බලපෑම් කරන ආකාරය අමුතුවෙන් කිව යුතු නොවෙයි. ඒ නිසාම, ලෝකයේ ප්‍රධාන මාතෘකාව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. 

ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන ගැටුම හේතුවෙන්, කාටකාටත් ට්‍රම්ප්ගේ මෑණියන් මේරී ඈන් මැක්ලියෝඩ් ද සිහිවෙයි. එය අරුමයක් නොවෙයි. මේ සටහන ට්‍රම්ප් ගැන හෝ ට්‍රම්ප්ගේ මව මේරී ඈන් ගැන හෝ නොවෙයි. ට්‍රම්ප්ගේ පුත්‍රයා ගැනය. ට්‍රම්ප් සහ ඔහුගේ තෙවැනි බිරිඳ (වත්මන් ඇමෙරිකන් ජනාධිපති ආර්යාව) වන මෙලනියාගේ එකම දරුවා 20 හැවිරිදි බැරන් ගැනය. 

බැරන් ට්‍රම්ප් කඩවසම් තරුණයකු වන අතර, පෙනුමින් ඔහු තරුණ ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනකු වැනිය. ට්‍රම්ප් සැමවිටම බැරන් ගැන කතා කරන්නේ බොහොම ආඩම්බරයෙනි. පසුගිය දා බැරන් වීරයකු විය. බැරන් ට්‍රම්ප් වීරයකු බවට කළේ බ්‍රිතාන්‍ය විනිසුරුවරයෙකි. ඒ, බැරන් නඩු විභාගයක සාක්ෂිකරුවකු වීමත් සමඟය. 

බැරන් වීරයකු වූ බව පැවැසෙන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ සිට ලන්ඩන් නුවර සිටින බ්‍රිතාන්‍ය තරුණියක බේරා ගැනීම හේතුවෙනි. බැරන් ට්‍රම්ප්, මෙම තරුණිය බේරා ගත්තේ ඇගේ ප්‍රචණ්ඩකාරී, හොස්ස ළඟින් මැස්සා යන්න බැරි පෙම්වතාගෙනි. බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවියට අනුව සිද්ධිය මෙසේය. 

මේ බ්‍රිතාන්‍ය තරුණිය සහ බැරන් හොඳ මිතුරන්ය. තරුණිය නිරන්තරයෙන් බැරන් සමඟ දුරකතනය ඔස්සේ වීඩියෝ ඇමතුම්වලින් සම්බන්ධ වීමට පටන්ගෙන ඇත. ඒ මාස කීපයක් තිස්සේය. බැරන්ට ඇය හමුවී ඇත්තේ සමාජ මාධ්‍යවල සැරිසරද්දීය. බැරන්ගේ මැදිහත්වීමෙන් පොලිස් අත්අඩංගුවට ගැණුනු තරුණියගේ ‘පෙම්වතා’ යැයි කියා ගන්නා තරුණයා 22 හැවිරිදි අයෙකි. ඔහු ලන්ඩන් නුවර මහල් නිවාසයක පදිංචි රුසියානු ජාතිකයෙකි. ඔහුගේ නම මැට්වේ රුමියන්සෙව් ය. 

රුමියන්සෙව් එම්.ඒ.ඒ. සටන්කරුවෙකි. එම්.ඒ.ඒ. යනු මික්ස්ඩ් මාෂල් ආට්ස් (මිශ්‍ර සටන් කලාව) යන්නෙහි කෙටි යෙදුමය. තරුණිය පවසන ආකාරයට, රුමියන්සෙව් නිරන්තරයෙන් ඇයට පහර දෙයි. තරුණිය, බැරන් සමග වීඩියෝ ඇමතුම්වලට සම්බන්ධ රුමියන්සෙව් අනුමත කර නැත. තම පෙම්වතිය සමග කුලුපඟව කතා කරන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ පුත්‍රයා බව දැනගත් විට රුමියන්සෙව්, බැරන්ට ඉරිසියා කිරීමටත් වෛර කිරීමටත් පටන්ගෙන ඇත. 

පසුගිය ජනවාරියේ දිනෙක, බැරන් සහ එම තරුණිය වීඩියෝ ඇමතුමකින් කතාබහ කරද්දී, රුමියන්සෙව් ප්‍රචණ්ඩ විය. තරුණිය, දරුණු ලෙස රුමියන්සෙව්ගේ පහර කෑමට ලක් විය. තරුණිය වේදනාවෙන් කෑ ගසන සහ හඬන අයුරු වීඩියෝ දසුන් මගින් බැරන්ට දකින්න ලැබුණි. ෆ්ලොරීඩාවේ සිටි බැරන් එසැණින් බ්‍රිතන්‍යයේ 999 හදිසි අංකයට ඇමතුමක් ගත්තේය. ඒ වනවිට බ්‍රිතාන්‍යයේ වේලාව අලුයම 2.30 යැයි පැවැසෙයි. 
රුමියන්සෙව්

‘මා හිටියේ මගේ මිතුරිය සමග වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වෙලයි. ඇයට කෙනකු පහර දෙනවා. ඇය ඉන්නේ වේදනාවෙන්. ඇයට පිහිට වෙන්න” යැයි බැරන් 999 හදිසි අංකයට දැනුම් දුන්නේය. ඒ, තමන් කාගේ නවුරුන්දැයි පවා හෙළි නොකරය. 

 බැරන්ගේ ඇමතුම ලැබුණු නිලධාරිනිය බැරන්ගෙන් දිගින් දිගටම සිද්ධිය ගැන අතුරු ප්‍රශ්න ඇසුවාය. එහිදී තමන් කවුරුන්දැයි බැරන් අනාවරණය කර නැත. ඒ බව අනාවරණය වූයේ පසුවය. ලන්ඩන් පොලිස් නිලධාරීන් පැය කීපයක් යද්දී, මහල් නිවාසයේ අදාළ ලිපිනයට ගොස් පහර කා තුවාල ලබා සිටි තරුණියට පිහිට වී ඇති අතර, රුමියන්සෙව් අත්අඩංගුවට ගත්තේය. 

 පසුව රුසියන් තරුණයා ලන්ඩන් නුවර ස්නේයාස්බෘක් ඉහළ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ, නඩු විභාගය සඳහාය. නඩු විභාගයේදී බැරන්ගේ සාක්ෂිය, තරුණියට සිය ප්‍රචණ්ඩ පෙම්වතාගෙන් බේරීමට උපකාරි වුණු බව පැවැසෙයි. තමන් අවස්ථා ගණනාවකදී රුමියන්සෙව්ගෙන් ඉවත් වීමට උත්සාහ ගත් නමුත් ඔහුට ඇති බිය නිසා එසේ කිරීමට නොහැකි වුණු බවත්, බැරන් දේව දූතයකු මෙන් තමන්ට පිහිට වුණු බවත් තරුණිය පවසා ඇත.

“අදාළ තරුණයා, තරුණියට පහර දී ඇත්තේ තරුණිය බැරන්ට වීඩියෝ ඇමතුමක් ගනිමින් සිටින අවස්ථාවේදීය. රුමියන්සෙව්, ඇගේ ජංගම දුරකතනය උදුරා ගෙන ඇයට අතින් පයින් පහර දෙමින්, එසේ පහර දෙන අයුරු බැරන්ට පෙනෙන්න සලස්වා තිබෙනවා” යැයි මේ බව නඩු විභාගයේ දී අනාවරණය විය. 

“බැරන් සිටියේ ඇමෙරිකාවේ. සැතපුම් දහස් ගණනක් ඈත. ඔහුට තිබුණා සිද්ධිය අමතක කරලා නොසලකා හරින්න. ඒත් ඔහු එසේ කළේ නැහැ. කිසිදාක සැබැවින් මුහුණට මුහුණ හමු නොවුණු එම තරුණිය වෙනුවෙන් ඔහු පෙනී සිටියා. තමන්ගේ නමට හානියන් වේවි යැයි බැරන් නිහඬව සිටියේ නැහැ.” යැයි විනිසුරුවරයා අධිකරණයේ දී පෙන්වා දුන්නේය. තරුණියට පහර දී වධ හිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් රුමියන්සෙව්ට එල්ල වුණු චෝදනා බරපතල විය. ජූරිය හමුවේ ඔහු වරදකරු විය.

රුමියන්සෙව්, පොලිස් අත්අඩංගුවට පත්වුණු අවස්ථාවේදී ඔහු ඔහුගේ මිතුරන් මාර්ගයෙන්, දිගින් දිගටම තරුණිය හා සම්බන්ධ වීමට උත්සාහ ගනිමින් පවසා ඇත්තේ තමන්ට එරෙහි ඇති පැමිණිලි ඉවත් කර ගන්නා ලෙසය. රුමියන්සෙව්, තරුණියට ලිපි කීපයක් ද යවා ඇත. අවසානයේ එය ද රුමියන්සෙව්ට අවාසියක් වූ බව පැවැසෙයි. රුමියන්සෙව් පැයක පමණක කාලයක් පුරාවට අමානුෂික ආකාරයට තරුණයට පහර දීම කිසිසේත්ම සමාව දිය හැකි කරුණක් නොවන බව විනිසුරු පෙන්වා දී ඇත. 

රුමියන්සෙව්ට සිවු වසරක සිරදඬුවම් නියම කෙරුණි. ඔහු රුසියාවට පිටුවහල් කිරීමට ද නියමිත බව වාර්තා විය. ඇමෙරිකානු දේශපාලනයේ ට්‍රම්ප්ගේ පවුල තුළ, බැරන් ට්‍රම්ප් කැපී පෙනෙන චරිතයකි. බැරන්, ට්‍රම්ප් පවුලේ අනෙකුත් සාමාජිකයන් මෙන් නිතර මාධ්‍ය හමුවේ පෙනී නොසිටිය ද, දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ, ඔහු නවීන ඇමෙරකානු දේශපාලනයේ බලාපොරොත්තු සහිත තරුණයකු ලෙස කරළියට පැමිණෙමින් සිටින බවය. 

 2006 වසරේ මාර්තු 20 වැනි දින උපත ලැබූ බැරන් විලියම් ට්‍රම්ප්, කුඩා කල සිටම හැදී වැඩුණේ විශාල මාධ්‍ය අවධානයක් මධ්‍යයේය. එසේ වුවද, ඔහුගේ මව වන මෙලනියා ට්‍රම්ප් සෑම විටම උත්සාහ කළේ තම පුත්‍රයාට සාමාන්‍ය ළමා වියක් ලබා දීමටය. ධවල මන්දිරයේ ජීවත් වූ කෙටි කාලසීමාව තුළ (ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය) ඔහු ලෝකයේ බලවත්ම දේශපාලන සිදුවීම් අතර සිටිය ද, ඔහු සැමවිටම පවුලේ පෞද්ගලිකත්වයට මුල් තැන දුන් චරිතයක් විය. 

 අඩි 6 අඟල් 7ක් උස බැරන්, සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වන්නේ ඔහුගේ සුවිශේෂී උස සහ සන්සුන් පෙනුම හේතුවෙනි. තම පියාගේ දේශපාලන රැලිවලට බැරන් සම්බන්ධ වුණු ආකාරය දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත. බොහෝ දෙනා පවසන්නේ බැරන් ඉතා ඉවසිලිවන්ත සහ බුද්ධිමත් තරුණයකු බවය. විශේෂයෙන්ම තාක්ෂණය සහ ක්‍රීඩා කෙරෙහි ඔහු දක්වන උනන්දුව පවුලේ අය විසින් ද හෙළි කරනු ලැබ ඇත. 

 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙනයාමේ හැකියාවක් බැරන් සතුව ඇතැයි ද බොහෝ දෙනාගේ අදහසය. ඒත් ට්‍රම්ප්ගේ වර්තමාන කෙරුවාව ගැන බලද්දී, ඔහුගේ දේශපාලන උරුමය තව දුරටත් ලෝකයට අවශ්‍ය ද යන්න ගැටලුවක් වී ඇත. බැරන් තවමත් සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

නිව්යෝක් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය අවසන් කිරීමට සූදානමින් සිටින බැරන්, දේශපාලනයට පිවිසීමක් ගැන කිසිදු අවස්ථාවක කිසිවක් පවසා නැත. බැරන් ට්‍රම්ප් යනු හුදෙක් හිටපු ජනාධිපතිවරයකුගේ පුත්‍රයා පමණක් නොවේ. ඔහු ස්වාධීන චින්තනයක් සහිත, තමන්ගේම පෞරුෂයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන තරුණයෙකි. 

Daily Mail ඇසුරිනි

Classified_Ad