ට්‍රම්ප් හසුවුණු උගුල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 5, 2026

ට්‍රම්ප් හසුවුණු උගුල

ඉරාන යුද්ධය අවසන් කිරීමේ පොටක් පාදා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොහැකි බව පෙනෙයි. ලෝකයේ සුපිරි බලවතා වන ඇමෙරිකාව, පිළිගැනීමට අකමැති යථාර්ථයට දැන් දැන් මුහුණ දෙමින් සිටින බව පෙනෙයි. එනම්, ඉරානයට එරෙහි මේ යුද්ධය ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකිය යන්නය. 

එසේ වූ පළියට ඇමෙරිකාව මේ යුද්ධය අතරමඟ නවත්වන්නේ නැත. ඇමෙරිකා ගොඩබිම් හමුදා ඉරානයට යැවීමට ට්‍රම්ප් සූදානම් වෙයි. ඒත්, දිගටම යුද්ධ කරමින් සිටීම ඇමෙරිකාවට කළ නොහැකි දෙයක් නොවෙයි. එසේ නම් ඇමෙරිකාවට කළ හැක්කේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමකින් තොරව පවා ඉරාන යුද්ධය නැවැත්වීමට තමන් සූදානම් බව ට්‍රම්ප් පවසා ඇත. 

ඉරානයට ගොඩබිම් හමුදා යැවීමට ද ට්‍රම්ප් සූදානමින් සිටී. ඇමෙරිකාව (ට්‍රම්ප්) මේ අයුරින් ඉරානය සමග පැටලීම, වසර ගණනක් තිස්සේ පැවැති මත ගැටුම්වල ප්‍රතිඵලයකි. ඇමෙරිකාව, ඔවුන් විසින්ම අටවා ගත් උගුලකට වැටී ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. මේ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් අතීතයට යා යුතුය. වසර 46 ක් ආපස්සට යා යුතුය. 

1979 වසරේ ඉරාන විප්ලවය දක්වා යා යුතුය. ඇමෙරිකාවේත් ඉරානයේත් කතාව සැබැවින්ම ආරම්භ වූයේ 1979 දීය. ඉරාන විප්ලවය යනු ඇමෙරිකන් හිතවාදී ෂා පාලනයේ අවසානය සහ වසර ගණනාවක් පිටුවහල් වී සිටි කොමේනීගේ ආගමනයයි. තෙහෙරානයේ සිටි ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දින 444 ක් පුරා ප්‍රාණඇපයේ රඳවා ගැනීම ඇමෙරිකාවට එල්ල වුණු දරුණු අතුල් පහරක් විය. 

1979 වසරේ සිදුවුණු සිදුවීම්, ඇමෙරිකාවත් ඉරානයත් අතරේ යළි නිවැරදි කළ නොහැකි ආකාරයට බෙදීමක් නිර්මාණය කළේය. නපුරා සහ සතුරා ඇමෙරිකාව යන ආකල්පය, ඉරාන වැසියන් තුළ පැලපදියම් විය. ඉරාන වැසියන් ඇමෙරිකාව දකින්නේ සතුරකු ලෙස පමණි. ඉරානයට අනුව, ෂා බලයට ගෙනා නපුරා ඇමෙරිකාවය. සදාම් හුසේන් ඉරානයට පහර දෙද්දී, ඉරාක හමුදාවට අවි දුන්නේ ඇමෙරිකාවය. 

සිවිල් වැසියන් 290 දෙනකු සිටි ඉරාන ගුවන් සේවයේ අංක 655 යානය පහර දී බිම දැමූ අපරාධකාරයා ඇමෙරිකාවය. ඇමෙරිකාව මෙම සිද්ධියට අදාළව කිසිම අවස්ථාවක කනගාටුව පළ කර නැත. ඒ අනුව 1979 ඉරාන විප්ලවයෙන් පසු, ඉරාන නායකත්වය, ඉරාන වැසියන්ට පුනපුනා පෙන්වා දී ඇත්තේ එකම එක දෙයකි. ඒ, ඇමෙරිකාව විශ්වාස කළ නොහැකි බවය. 

වොෂින්ටනය සැමවිටම උත්සාහ ගන්නේ ඉරාන ඉස්ලාමීය පාලනය පෙරළා දැමීමට බවය. වොෂින්ටනයට තේරුම්ගත හැකි එකම ‘භාෂාව’ ප්‍රචණ්ඩත්වය පමණක් බවය. ඇමෙරිකාව ද පසුගිය 46 වසර පුරාවට ඉරානය සම්බන්ධයෙන් දරන්නේ ද මෙවැනිම මතයකි. ඇමෙරිකාව, ඔවුන්ට වාසි වන ආකාරයට ඉරානය ගැන මතවාද ගොඩනගාගැනීමක් කර ඇත. ඒ, ඉරානය සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් නැත.

ඉරානයට යමක් තේරුම් කර වටහා දීම කළ නොහැකිය. ඉරානය හිතුවක්කාර රාජ්‍යයකි. ඉරාන පාලකයන් සමඟ සාකච්ඡාවට යෑම පලක් නැති ක්‍රියාවකි ආදී වශයෙනි. ඉරානය මට්ටු කිරීමට නම් කළ යුතු එකම දේ ඉරානයට ඇති තරම් පීඩනයක් එල්ල කිරීම යැයි ඇමෙරිකාවේ විශ්වාසය වෙයි. 

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීම, ඉරානය හැකිතාක් ලොවෙන් හුදෙකලා කිරීම, ඉරානය සම්බන්ධයෙන් රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ හැකි සෑම විටම හමුදා බලය භාවිතයට ගනිමින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකාවේ විශ්වාසයයි. ඒ නිසාම, ඉරානය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් ඇමෙරිකාවට නැත. 

විවිධාකාරයේ උපායශීලී ක්‍රමවලින් ඉරානය අඩපණ කිරීමට හැකි යැයි ඇමෙරිකාව විශ්වාස කිරීම, ඇමෙරිකාව විහින් උගුලක වැටීම යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. ඔබාමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී, 2015 වසරේ ඉරානය සමග සාකච්ඡා පවත්වා එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගත්තේය. 

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව ගත් හොඳම ක්‍රියා මාර්ගය මෙයයි. ඉරානය සමග අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මග පෑදුණු එකම ක්‍රමය වූයේ ද මෙයයි. ඇති කරගත් එම එකඟතාවය සාර්ථක වූ අතර, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික හැකියාව සීමා කළේය. යුරේනියම් බල ගැන්වීම අවම කළේය. ජාත්‍යන්තර නිරීක්ෂකයන් ඉරානයට ගොස් ඉරාන බලාගාර අධීක්ෂණය කරන්න විය. 

මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව නිරන්තරයෙන් ඊට සහාය දැක්වීය. ඔබාමාගෙන් පසු, 2018 දී, ට්‍රම්ප් බලයට ආ විට ඔබාමාගේ මැදිහත් වීමෙන් ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවයෙන්, ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය. ඔබාමා පරිපාලනය ලිහිල් කළ ඉරාන සම්බාධක දෙගුණ තෙගුණ කෙරුණි. ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික එකඟතා ගිවිසුම අවලංගු කළේ ඇයි? ඉරානය එහි කොන්දේසි උල්ලංඝනය කළ නිසාද?

නැත. ට්‍රම්ප් එසේ කළේ ට්‍රම්ප්ට එම ගිවිසුම රුස්සන්නේ නැති නිසාය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු (බීබී) එසේ කරන්නැයි ට්‍රම්ප්ට දිගින් දිගටම ඇවිටිලි කළ නිසාය. ඊශ්‍රායලයේ පැවැත්මට ඉරාන ඉස්ලාමීය රෙජීමය තර්ජනයකි. 2018 දී ට්‍රම්ප් පරිපාලනයේ විශ්වාසය වූයේ (වර්තමාන පරිපාලනය මෙන්ම) ඉරානයට උපරිම ලෙස පීඩනයක් පැනවීම මගින් ඉරානය ඇතුළතින් පුපුරා යනු ඇතැයි කියාය. 

ජනතා පිබිඳීමක් නිර්මාණය වනු ඇතැයි කියාය. එවිට, ඉරානය සමඟ වඩා හොඳ ගනුදෙනුවක් ඇති කර ගැනීමට හැකියාව ලැබේවි යැයි ට්‍රම්ප් විශ්වාස කළේය. (තවමත් එය එසේමය.) ඒත් එවැන්නක් සිදු නොවිණි. සිදුවන බවක් පෙනෙන්නට ද නැත. ඒත් එක් දෙයක් සිදුවිය. 

ඇමෙරිකාවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉරානය යමක් ඉගෙන ගත්තේය. ඇමෙරිකාව සමඟ කුමන ආකාරයේ ගිවිසුමක් ඇතිකරගත්තත් එය පලක් නොවන බව ඉරානයට අවබෝධ විය. එක් ඇමෙරිකන් ජනාධිපතිවරයකු සමග ඇතිකර ගන්නා එකගතාවය, ඊළඟ ජනාධිපතිවරයා වෙනස් කරන බව ඉරානය වටහා ගත්තේය. ඉරානයට අවසානයේ ඇති එකම විකල්පය නම් න්‍යෂ්ටික අවිවලට යෑම පමණි. 

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටකට තවත් රටක් තර්ජනය කරන්නේ හෝ පහර දීමට යන්නේ හෝ නැත. න්‍යෂ්ටික අවි තිබීම එම රටේ ආරක්ෂාවට ඇති සහතිකයයි. මීට හොඳම උදාහරණය උතුරු කොරියාවය. න්‍යෂ්ටික අවි යනු උතුරු කොරියාව, පාකිස්තානය වැනි රටවලට ඇති රක්ෂණයයි. 

 2018 දී ට්‍රම්ප් සිය පළමු ධුරය ආරම්භ කරමින් බලයට පැමිණ, ඔබාමා මැදිහත්වීමෙන් ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික අවබෝධතා ගිවිසුම අවලංගු කිරීම, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන තවත් ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට හේතුවක් වුණු බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. 

2015 වසරේ ඉරානයට වඩා අද ඉරානය සම්පුර්ණයෙන්ම වෙනස්ය. න්‍යෂ්ටික අවබෝධතා ගිවිසුමක් නොමැති බැවින්, ඉරානය ඔවුන්ගේ යුරේනියම් බලගැන්වීම සියයට 90 ක් තෙක් වැඩි කර ඇත. 

ඒ අනුව ඉරානයට ඕනෑම මොහොතක න්‍යෂ්ටික අවියක් නිපදවීමේ හැකියාව ඇත. ඉරානය මෙම තත්ත්වයට පත් කළේ ඇමෙරිකාවය. ඇමෙරිකාව (ට්‍රම්ප්), ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින් ඉරානයට පහර දීමට පටන් ගත්තේ ඉකුත් පෙබරවාරි 28 වැනිදාය. එසේ පහර දීමේදී ඇමෙරිකාවේ ප්‍රධාන අවසන් අරමුණ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අඩපණ කර දැමීමය. 

ඒත්, න්‍යෂ්ටික වැඩසටහනක් මුළුමනින්ම අඩපණ කිරීම යනු කුමක්ද? ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාර කාන්තාර ප්‍රදේශවල ඉදිකර ඇත්තේ, ඇමෙරිකාවට බෝම්බ දමා පහසුවෙන් ඒවා විනාශ කළ හැකි ආකාරයට නොවෙයි. එම බලාගාර ඇත්තේ කදු හාරා ඒවා යටය. මීටර් 80 ක් හෝ 100 ක් පමණ පස් තට්ටු යටය. 

ඕනෑම සාම්ප්‍රදායික ගුවන් ප්‍රහාරයකින් විනාශ කළ නොහැකි ලෙස ඉරානය, ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාර ඉදි කර ඇත. මෙවැනි බලාගාර විනාශ කිරීමට ඇමෙරිකා හමුදාව සතුව ඇත්තේ එකම එක ආයුධයක් පමණි. ඒ, ජීබියූ 57 GBU-57 MOP (Massive Ordnance Penetrator) මිසයිලයයි. 

මෙහි බර රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600ක් පමණ) වේ. ඉන් රාත්තල් 5,300ක් පමණ වන්නේ ඉතා ප්‍රබල පුපුරන ද්‍රව්‍යය. සාමාන්‍ය බෝම්බ මෙන් නොව, මෙය ඉලක්කය මත පතිත වූ පසු ඉතා ගැඹුරට විනිවිද ගොස් පුපුරා යාමට සැලසුම් කර ඇත.

 ජීබියූ 57 මිසයිලවල ඉලක්කය කොතරම් නිවැරදි වුවත්, පොළව යට ඇති බලාගාර සියයට සියයක් විනාශ කිරීමට හැකි ද යන්න සැක සහිත යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකන් යුද විශ්ලේෂකයන් පවා මෙය හොඳින් දන්නා කරුණකි. පහර දීම් මගින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වසර කීපයක් ආපසු හැරවිය හැකිය. ඒත් මුළුමනින්ම නැවැත්වීම අපහසුය. 

හේතුව, ඉරානයට ඒ සඳහා අවශ්‍ය දැනුම ඇත. විද්‍යාඥයන් නිසි ලෙස පුහුණු කර ඇත. බෝම්බ දමා ගොඩනැගිලි විනාශ කළත්, ඉරාන වැසියන්ගේ ආකල්ප විනාශ කළ නොහැකිය. ඔවුන්ගේ අදහස් විනාශ කළ නොහැකිය. ඒ අනුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අවසන් කිරීම ගුවන් ප්‍රහාරවලින් කළ නොහැක. න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අවසන් කළ හැක්කේ ඉරාන ඉස්ලාමීය පාලනයේ වෙනසක් නැතිනම් රෙජීමයේ වෙනසක් ඇති කළහොත් පමණි. 

එසේ වෙනස් වන පාලනය, කැමැත්තෙන්ම න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම සඳහා යොමු විය යුතුය. ඉරානයේ රෙජීම වෙනසක් ඇතිකිරීමට ඇමෙරිකාවට හැකිවේවිද? මීට පිළිතුරු දීමට ඉරානය සහ ඉරාකය සන්සන්දනය කර බලමු. 

ඉරානය සහ ඉරාකය ඇසල්වැසි රටවල්ය. ඒත් ඉරානය යනු ඉරාකය නොවෙයි. ඉරාකය යනු තෙල්වලින් ලැබෙන මුදලින් තම ආධිපත්‍ය පතුරුවාගත් ඒකාධිපතියකු (සදාම් හුසේන්) පාලනය කළ රටකි. සදාම් හුසේන්, ආගමික වශයෙන් සහ ගෝත්‍රවලින් බෙදී වෙන්වුණු ඉරාක වැසියන් එකට එක්කාසු කරගෙන සිටියේ බලය සහ ප්‍රචණ්ඩත්වය භාවිතයට ගනිමිනි. සදාම් හුසේන් ඉවත් කළ සැණින් ඉරාකය කඩා වැටුණි. පසුව සිදුවූයේ එයයි. 

ඒත් ඉරානයේ පාලන පද්ධතිය ඊට වෙනස්ය. 1979 විප්ලවයෙන් පසු, ඉස්ලාමීය රෙජීමය වසර 46 ක් තිස්සේ සිය මූල පද්ධතිය රටේ සෑම අස්සකටම මුල්ලකටම පතුරුවා ඇත. ඉරානයේ ඔවුන්ට කියා විශ්ව විද්‍යාල පද්ධතියක් ඇත. මාධ්‍ය ඇත. ඔවුන්ට කියා ආර්ථික ජාලයක් ඇත. සමාජ සුබසාධන පද්ධතියක් ඇත. 

ඉරාක විපලවීය ආරක්ෂක බලකාය වනු නිකම්ම නිකම් හමුදාවක් නොවෙයි. ඉරානයේ ආර්ථික අධිරාජ්‍යය මෙහෙයවීම කරන්නේත්, ඉරාන ඉස්ලාමීය පාලනය රටේ ස්ථාපිතව පැවැතීමට සහාය ලබා දෙන්නේත් මෙම බලකායයි. 

ඉරාන ඉරාක යුද්ධයේ දී ඉරාන වැසියන් දස දහස් ගණනින් මියයද්දී පවා ඉරානය ශක්තිමත් ව එම යුද්ධයට මුහුණ දුන්නේ ඒ නිසාය. 1980 සැප්තැම්බර් මස ඉරාකය විසින් ඉරානය ආක්‍රමණය කිරීමත් සමඟ ඉරාක ඉරාන යුද්ධය හටගත්තේය. ඊට ප්‍රධානතම හේතුව වූයේ දෙරට අතර දේශසීමාවේ පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් ‘ෂාට්-අල්-අරබ්’ ජල මාර්ගයේ පාලනය තමන් සතු කර ගැනීමට එදා ඉරාක පාලක සදාම් හුසේන් දැරූ උත්සාහයයි.

1979 ඉරානයේ සිදු වූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන නායකත්වයේ ආගමික බලපෑම කලාපය පුරා ව්‍යාප්ත වීම, ඉරාක පාලන තන්ත්‍රයට තර්ජනයක් ලෙස දැනීම යුද්ධයට තවත් ප්‍රබල හේතුවක් විය. වසර අටක් පුරා ඇදී ගිය යුද්ධය විසිවන සියවසේ පැවති වඩාත්ම විනාශකාරී ගැටුම්වලින් එකකි. 

ඉරාකය, ඇමෙරිකාවෙන් ලැබුණු නවීන අවි පමණක් නොව රසායනික අවි ද භාවිතයට ගනිමින් ඉරානයට ප්‍රහාර එල්ල කළේය. යුද්ධයේදී දෙරටේම මිලියනයකට ආසන්න ජනතාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, නගර රැසක් විනාශ වී දෙරටේම ආර්ථිකයන් බරපතළ කඩාවැටීමකට ලක් විය. 

1988 අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 598 දරන යෝජනාව පිළිගනිමින් දෙරටම සටන් විරාමයකට එකඟ විය. වසර අටක් පුරා ලේ වැගිරුණු යුද්ධයෙන් පසුව කිසිදු පාර්ශවයකට පැහැදිලි මිලිටරි ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි විය. 

දේශසීමා නැවතත් යුද්ධයට පෙර පැවති තත්ත්වයටම පත් වූ අතර, අතිවිශාල ජීවිත හා දේපළ හානියක් සිදු කරමින් අවසන් වූ මෙම යුද්ධය අවසානයේ කිසිදු පාර්ශවයකට ජයග්‍රහණයක් නොලැබුණු, අර්ථ විරහිත ගැටුමක් ලෙස ඉතිහාසයට එක්වී ඇත. අද වනවිට ඉරානය ඇමෙරිකන් සම්බාධක හමුවේ නොසැලී සිටී. 

ඇමෙරිකාව ඉරානයේ ඉහළ නායකත්වය විනාශ කර දමා ඇත. හමුදා නායකත්වය විනාශ කර ඇත. න්‍යෂ්ටික විදයාඥයන් ඝාතනය කර ඇත. ඒත් ඉරානය නොසැලී සිටී. ට්‍රම්ප් සිය පළමු ධුරය අවසන් කාලයේ ඉරාන විප්ලවීය හමුදාවට අයත් කුද්ස් බලඇණියේ නායකයා ලෙස කටයුතු කළ ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කළේය. 

ඒ, සුලෙයිමානී ඉරාකයට ගිය අවස්ථාවකදී ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි. ඉරානයට එල්ල වුණු සෑම ප්‍රබල ප්‍රහාරයකදීම, ඇමෙරිකාව පැවැසුවේ ඉරාන ඉස්ලාමීය රෙජීමය කඩා වැටීම ඔන්න මෙන්න කියාය. ඒත් එවැන්නක් තවමත් සිදුවී නැත‍. එය වෙනස්වීම්වලට ලක්වී තව තවත් ශක්තිමත් වූවා පමණි. 

වොෂින්ටනය පිළිගැනීමට අකමැති තිත්ත ඇත්ත මෙයයි. ඉරානයට හමුදාමය වශයෙන් පීඩනයක් එල්ල කිරීම යනු එරට ඉස්ලාමීය පාලනය දුර්වල නොවෙයි. එය තවත් ශක්තිමත් වෙනවා පමණි. ඉරාන වැසියන් තුළ ජාතිකත්වය ඉස්මතු වෙයි. අන්තවාදී අදහස් ඇති ආගමික නායකයන්ට ඔවුන්ගේ දැක්ම ඉදිරියට ගෙන යෑමට එය ශක්තියක් වෙයි. 

ඇමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ පළියට එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන්නේ නැත. ඉරාන වැසියන් ඔවුන්ගේ රජය වටා ශක්තිමත්ව එක් රොක්වී සිටිනු පෙනෙයි. ඒ, ගිනි අවි පෙන්වා බය කිරීමෙන් යැයි ඇමෙරිකාව කීවත්, එය එසේ නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. 

ඉතිහාසයෙන් ඇමෙරිකාව පාඩම් ඉගෙන ගත යුතු වුවත්, එසේ කරන්නේ නැත. පසුගිය වසරවලදීත් මෙම වසර මුලදීත් ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහි විරෝධතා පැවැත්විණි. ඒත් ඒවා දින කීපයකින් සති කීපයකින් අවසන් විය. එම විරෝධතා උසි ගැන්වීම කළේ ඇමෙරිකාව බව කවුරුත් දන්නා රහසකි. 

ඒ අනුව, ඇමෙරිකාවට ප්‍රහාර එල්ල කරමින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවසන් කළ නොහැකිය. රෙජීමයේ වෙනසක් සිදු කිරීම ද කළ නොහැකිය. ට්‍රම්ප් ඉරානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කළහොත්, ඇමෙරිකන් හමුදා පිළිගැනීමට ඉරානයේ මිලියනයක බලඇණියක් සීරුවෙන් සිටින බව පැවැසෙයි. ගොඩබිම් යුද්ධයක් අවුරුදු ගණනක් ඇදී යෑමට ඉඩ ඇත. එය අවසානයේ ද රෙජීම් වෙනසක් සිදුවීම සැක සහිතය. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි

Classified_Ad