බැරිම වුණොත් න්‍යෂ්ටික ප්‍රහාරයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 5, 2026

බැරිම වුණොත් න්‍යෂ්ටික ප්‍රහාරයක්

ඇමෙරිකා, ඊශ්‍රායල, ඉරාන යුද්ධය හිසරදයක් බව පුනපුනා කිවයුතු නොවෙයි. දැන් ඉතිං යුද්ධය අවසන් කිරීමට නම් කවුරුන් හෝ අඩියක් පස්සට ගැනීම කළ යුතුය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කරන්නේ නැත. ට්‍රම්ප් මුරණ්ඩු චරිතයකි. ට්‍රම්ප්ගේ මිතුරා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එසේත් නැතිනම් බීබී ද එසේමය. 

මේ මහල්ලන් දෙදෙනා ලෝකය විනාශ කරනවා යැයි චෝදනා එල්ල වෙමින් පවතී. මේ වනවිට ඊශ්‍රායල හමුදා ඉරානය සමග පමණක් නොව, ලෙබනනයේ හිස්බුල්ලා සමගත්‍, යේමනයේ හූති සමගත්, සිරියාවේ ඉරාන හිතවාදී සටන්කාමින් සමගත් පෙරමුණු කීපයකින් සටන් කරමින් සිටී. 

ඊශ්‍රායල විපක්ෂය අනතුරු අගවා ඇත්තේ ඊශ්‍රායලය මෙම යුද්ධය නිසා පඹගාලක පැටලී සිටින බවය. ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් දිගට හරහට පහර කෑ ඉරානය සහ තවමත් පහර කමින් සිටින ඉරානය, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ‘දැන් ඇති යුද්ධය නවත්වමු’ යැයි කි පළියට යුද්ධය නවත්වන්නේ ද නැත. 

ඉකුත් 28 වැනිදා සිට ඉරානයට එල්ල වුණු ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 3,400 කි. ඔවුන් අතර සිවිල් වැසියෝ 1551 දෙනෙක් වෙති. එයින් ද වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන්ය. ඉරානයේ බාලිකා පාසලකට ද ඇමෙරිකාවේ ටමහෝක් වර්ගයේ කෲස් මිසයිලයක් පතිත විය. බාලිකාවන් 168 දෙනකුට දිවි අහිමි විය. එහ මහා ඛේදවාචකයකි. 

පෙබරවාරි 28 වැනිදා එල්ල වුණු පළමු ප්‍රහාරයෙන් ම වත්මන් ඉරාන උත්තරීතර නායක මුජ්ටාබා කමේනීට, ඔහුගේ පියා (හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී) අහිමි විය. මව අහිමි විය. වැඩිමල් සොහොයුරා අහිමි විය. සොහොයුරිය සහ ඇගේ දරුවන් අහිමි විය. මුජ්ටාබා කමේනී ට ඔහුගේ බිරිඳ ද අහිමි විය. 

මුජ්ටාබා කමේනී, මේ මොහොත වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සමඟත් ඇමෙරිකාව සමඟත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායලය සමඟත් කොතරම් වෛරයකින් පසුවෙනවා ඇතිද? නැතිනම්, සියල්ල අමතක කර, සතුරුකම් කළ සියලු දෙනාට සමාව දිය හැකි මානසිකත්වයකින් පසුවෙනවාද? 

මේ ගැන අප කිසිවක් දන්නේ නැත. යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වුවත්, දැන් එය කළ නොහැකි අතර, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සහාය ට්‍රම්ප්ට ලැබෙන්නේ ද නැත. ස්පාඤ්ඤය ඔවුන්ගේ ගුවන් කලාපය ඇමෙරිකා ප්‍රහාරක යානාවලට තහනම් කළේ, ඉරානය සමග යුද්ධයට අප පැටලෙන්නේ නැතැයි පවසමිනි. කිසිදු බ්‍රිතාන්‍ය සොල්දාදුවකු ඉරානයට එරෙහිව යුද්ධයකට නොයවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් පවසා ඇත්තේ ට්‍රම්ප් කුපිත කරමිණි. 

 ඉරානයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එය කොයි මොහොතේ හෝ සිදුවිය හැක. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවා ඒ බව අවධාරණය කර ඇත. ජපානයේත් දකුණු කොරියාවේත් ඇමෙරිකන් හමුදා කඳවුරුවල සිටින මැරින් සෙබළු 5,000 ක බලඇණියක් මේවනවිට මැදපෙරදිගට පැමිණ සිටිති. 

මොවුන් ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගනිමින්, ඉරාන තෙල් අයිති කර ගැනීමට ඉඩ ඇත. ඉරාන ආර්ථිකයේ ජීව නාලිය ලෙස සැලකෙන්නේ මෙම කාර්ග් දූපතය. ඉරානය ඔවුන්ගේ බොර තෙල්වලින් සියයට 95 ක් ලෝකයට අපනයනය කරන්නේ ද මේ දූපතේ සිටය. 

මීට දින කීපයකට පෙර, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ අණින් මෙම දූපතේ හඳුනාගත් ඉලක්ක ගණනකට ඇමෙරිකන් හමුදාව බෝම්බ හෙලීය. ඒ, රේඩාර්වලට හසු නොවී පියාසර කරන බී2 බෝම්බ හෙලන යානා යොදා ගනිමිනි. ඇමෙරිකාවේ ඉලක්කය වූයේ දූපතේ ඉරාන හමුදා ඉලක්ක පමණි. තෙල් පිරිපහදුවලට සහ තෙල් ටැංකිවලට කිසිදු හානියක් සිදු නොවිණි. 

ඇමෙරිකාව දිගින් දිගටම තම තෙල් පිරිපහදුවලට සහ තෙල් ටැංකිවලට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊට ප්‍රතිචාර දක්වමින් තමන් අසල්වැසි ගල්ෆ් කලාපයේ ඇමෙරිකන් හිතවාදී රටවල සහ ඊශ්‍රායලයේ යටිතල පහසුකම්වලට පහර දෙනවා යැයි ඉරානය අනතුරු අඟවා ඇත. මෙසේ ආක්‍රමණයට සුදානම් වෙද්දී පවා ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරාන ‘නායකත්වය’ සමග තම නියෝජිතයන් සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඒ සාකච්ඡා සාර්ථක බවත්ය. 

ඉරානයේ ඉහළම නායකයා ලෙස සැලකෙන්නේ උත්තරීතර නායකයාය. දැන් එම ධුරය දරන්නේ මුජ්ටාබා කමේනීය. ට්‍රම්ගේ කණ්ඩායම කවුරුන් සමඟ සාකච්ඡා කළත් අවසන් තීරණය ගන්නේ උත්තරීතර නායකයාය.

ඉරාන විදේශ ඇමැති, පාර්ලිමේන්තු කතානායක, ඉරාන විප්ලවීය හමුදාව පවා පවසා ඇත්තේ ඉරානවය කිසිම විටෙක ට්‍රම්ප් සමඟ හෝ ඔහුගේ පාර්ශ්වයට සමඟ හෝ සාකච්ඡා පැවැත්වීමක් නොකළ බවත්, එසේ කිරීමට අවශය නැති බවත්ය. ඇමෙරිකන් සෙබළුන් ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන තුරු ඉරානය බලා සිටින බවත්, එය ඇමෙරිකන් සෙබළුන්ගේ මළගම වනු ඇති බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇමෙරිකාවට අනතුරු ඇගවීය. 

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇගවූයේ ඉරානයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට තම හමුදා සූදානමින් සිටන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. 

ඉරානයේ ගොඩබිම් ප්‍රහාර සඳහා පැමිණෙන ඇමෙරිකානු සෙබළුන් පිළිගැනීමට ඉරාන හමුදාව සූදානම් බවත්, ලක්ෂ 10 කට වැඩි තරුණයන් පිරිසක් ස්වේච්ඡාවෙන් හමුදාව සමග එක් වී සටනට සූදානමින් සිටින බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක ගලිබාෆ් පැහැදිලි කර ඇත. 

ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවය අනතුරු අගවමින් පවසා ඇත්තේ ඉරාන භූමියට පය තබන ඇමෙරිකව් සෙබළු පණ පිටින් පුළුස්සා දමන බවත්, ඔවුන්ට ආපසු යෑමට සිදුවන්නේ මිනී පෙට්ටිවලින් බවත්ය. ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන අර්බුදය කඩිනමින් අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදහත්කරු ලෙස තෝරා ගෙන ඇත්තේ පාකිස්තානයයි. සෞදි අරාබි, තුර්කි සහ ඊජිප්තුවේ විදේශ අමාත්‍යවරු පසුගිය සති අන්තයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ, දෙදිනක් තිස්සේ අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වූහ. 

පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ලෙස එම ධුරය හොබවන්නේ ඉෂාක් දාර් ය. පාකිස්තානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ ධුරය හොබවන්නේ ද ඉෂාක් දාර් ය. ඉස්ලාමාබාද් පැමිණි සෞදි අරාබි, තුර්කි සහ ඊජිප්තුව නායකයන් පිළිගැනීමට ගිය ඉෂාක් දාර් පසුගිය සෙනසුරාදා (28) අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, විදෙස් අමාත්‍යවරුන් ඉදිරියේ පය පැටළී ඇද වැටීමෙනි. 

එම සිද්ධිය සාකච්ඡාවලට බාධාවක් නොවිණි. සාකච්ඡා සඳහා තුර්කියේ විදේශ අමාත්‍ය හකන් ෆිඩාන්, ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දෙලාටි සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් කුමරු සහභාගී වූහ. අමාත්‍යවරු සිවුදෙනා මැදපෙරදිග යුද්ධය පිළිබඳව ඉතා සවිස්තරාත්මක සහ ගැඹුරු සාකච්ඡාවක නිරත වූ බවත්, තත්ත්වය පාලනය කිරීමට සහ එය තවත් උත්සන්න වීමේ අවදානම අවම කිරීමට සාකච්ඡා පැවැත්වූ බවත් විදෙස් මාධ්‍ය පැවැසීය. 

විදෙස් අමාත්‍යවරු ව්‍යුහාත්මක සාකච්ඡා සඳහා කොන්දේසි නිර්මාණය කිරීමට එකඟත්වය ද පළ කළහ. එම ක්‍රියාවලියේ විධිවිධාන සකස් කිරීම සඳහා එක් එක් රටවල විදේශ අමාත්‍යාංශවලින්, එක් නියෝජිතයකු බැගින්, නියෝජිතයන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පිහිටුවීමට ද එකඟ විය. සාකච්ඡා මෙසේ පැවැත්වෙද්දී, ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් විය. ට්‍රම්ප් එහිදී පෙන්වා දුන්නේ, යුද්ධයේ තම අරමුණ ඉරානයේ තෙල් අත්පත් කර ගැනීම කියාය. 

කෙසේ නමුත්, තම නියෝජිතයන් (ට්‍රම්ප්ගේ නියෝජිතයන් වන්නේ ස්ටීව් විට්කොෆ් සහ බැණා ජැරඩ් කුෂ්නර්ය.) ඉරාන නියෝජිතයන් සමග දිගින් දිගටම සාකච්ඡාවල නියැලෙමින් පසුවන බවත්, එලැඹෙන අප්‍රේල් 6 වන දිනට පෙර පැහැදිලි ගිවිසුමකට එකඟ නොවන්නේ නම්, ඉරානයේ බලශක්ති පද්ධතිය සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගට හරහට පහර දෙන බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවෙන් පැය කීපයක් යද්දී, ට්‍රම්ප් සිටියේ සිය එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයේය. යානයේ සිටි මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් මෙලෙස අදහස් දැක්වීමක් කළේය. 

“ඉරානය සම්බන්ධයෙන් ගිවිසුමක් එළඹෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එය ඉක්මනින්ම සිදු වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන් කවුරුද දන්නේ?” ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම පරස්පර විරෝධී ආකල්ප, පාකිස්තානයේ රාජ්‍යතාන්ත්‍රික සාම ප්‍රයත්නය මුහුණ දෙන මූලික ආතතිය තවත් වැඩි කරනු නොඅනුමානය. 

පාකිස්තානයේ මැදිහත් වීමෙන් කලාපීය රටවල එකමුතුවෙන් යුද්ධය උත්සන්න වීම වැළැක්වීම සඳහා බහුපාර්ශ්වික රාමුවක් ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක, ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමසහ ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම ඉරානයට, ලෙබනනයට, සිරියාවට සහ යේමනයට පහර දීම හටගෙන ඇති ගැටුම වෙනත් දිශාවකට යොමු වීමේ අවදානමක් පවතී. කිසියම් හේතුවක් නිසා සාකච්ඡා කරමින්, යුද ගැටුම් අවසන් කර ගැනීම සඳහා එකඟතාවකට යෑමට නොහැකි වුවහොත්, ඇමෙරිකාවට යුද්ධ කර ඉරානය මට්ටු කර ගැනීමට නොහැකි වුවහොත් කුමක් සිදුවේවිවද? 

ඇමෙරිකාව කුමක් කරාවිද? ට්‍රම්ප් කුමක් කරාවිද? බොහෝ දෙනා බිය පළ කර ඇත්තේ ට්‍රම්ප් ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවියකින් පහර දීමට උනන්දු වනු ඇති බවය. එසේ වුවහොත් එය මහා විනාශයකි. ජනපති ට්‍රම්ප්ට, එවැනි සිතුවිල්ලක් පහළ නොවේවා යැයි ප්‍රාර්ථනා කළ යුතුය. 

ඒත් ට්‍රම්ප්ගේ ඔළුව වැඩ කරන ආකාරය දෙවියන් පවා දන්නේ නැත. ඔහු අද කියන දේ හෙට වෙනස් කරයි. අද ගන්නා තීරණ, තව පැය කීපයකදී වෙනස් කරයි. එබැවින් ට්‍රම්ප්ගේ නියෝගයකින් ඇමෙරිකන් හමුදාව ඔවුන් සතු බී2 වර්ගයේ රේඩාර්වලට හසු නොවී යා හැකි බෝම්බ හෙලන ප්‍රහාරක යානයක් යොදා ගනිමින් ඉරානයට න්‍යෂ්ටික අවියක් නැතිනම් පරමාණු බෝම්බයක් හෙළීමේ ප්‍රවණතාවක් ඇත.

දෙවැනි ලෝක යුද්ධයේ දී, සතුරකු වූ ජපානය, ඇමෙරිකාවේ හවායි දූපත්වල පිහිටි පර්ල් වරායට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් බිහිසුණු ලෙස පහර දුන්නේය. එම ප්‍රහාරය වෙනුවෙන් ඇමෙරිකාව පළිගත්තේ, ජපානයේ හිරොෂීමා සහ නාගසාකී යන නගරවලට පරමාණු බෝම්බ දෙකක් පතිත කිරීමෙනි. සිදුවුණු විනාශය අතිමහත්ය. ජපානය යටත් විය. දෙවැනි ලෝක යුද්ධය අවසන් විය. 

මිනිසා විසින් නිර්මාණය කළ පරමාණු බෝම්බ යුද්ධයකදී භාවිතයට ගත් එකම අවස්ථාව මෙයයි. ඉරානයේ තෙහෙරාන් වැනි නගරයකට කිලෝ ටොන් 15 ක පරමාණු බෝම්බයක් හෙළීම සිදු කළොත්, ඒ විනාශය‍ෙවචනයෙන් විස්තර කළ නොහැකිය. පරමාණු බෝම්බයක් පුපුරන්නේ දීප්තිමත් ආලෝකයක් විහිදුවමිනි. 

පිපිරුම සමඟ හටගන්නා මෙම ආලෝකය නෙත ගැටුණොත්, එසැණින් කිලෝ මීටර් 30 ක් හෝ 35 ක් දුර සිටින සියලු දෙනාගේ දෑස් අන්ධ වනු ඇත. පිපිරුමේ ප්‍රබලත්වය කම්පන තරංග ලෙසින් විහිදී යනු ඇත. පළමු කිලෝ මීටරයක සීමාවේ, දුරට විහිදී එම සීමාවේ පණ ඇති සියලු දේ දූවිලි බවට පත්වනු ඇත. එය හරියට, ජලයට ගල් කැටයක් දැමූ විට වෘත්තාකාරව රැළි නැගෙනවා මෙනි. පළමු කිලෝ මීටරය ඇතුළත මරණ ප්‍රතිශතය සියයට 100 කි. 

කිසිවකුට දිවි ගලවා ගැනීමට නොහැකි වනු ඇත. පළමු කිලෝමීටරයේ ඇති සියලු ගොඩනැගිලි ද සුනුවිසුණු වනු ඇත. ඉන්පසු තවත් කිලෝ මීටර් 3 ක් දුරට යනකල් ද මරණ සිදුවනු ඇත. එම කිලෝ මීටර් තුනේ මරණ ප්‍රතිශතය සියයට 75 ක් පමණ වනු ඇත. 

තවත් කිලෝ මීටර් 3 ක් හෝ 5 ක් දුරට ද පිපිරුමේ තරංග ගමන් කරන බැවින් තවත් මරණ සහ තුවාල වීම් සිදුවනු ඇත. දස දහස් ගණනකට බරපල තුවාල සිදුවනු ඇත. විකිරණ නිසා සිදුවන පිළිස්සීම් ඒ අතරින් කැපී පෙනෙනු ඇත. එම කිලෝ මීටර් 3 ක් හෝ 5 ක් දක්වා දුර ඇති ගොඩනැගිලි දෙදරා බිමට සමතලා වනු ඇත. තවත් කිලෝ මීටර් 5 ක් හෝ 8 ක් දුරට ද කම්පන තරංග පැතිර යයි. 

ගොඩනැගිලි සහ නිවාසවල ජනෙල් වීදුරු ආදිය සැණින් කැබලිවී සුනුවිසුණු වනු ඇත. ඒවායින් සිදුවන තුවාල දරුණු වනු ඇත. පරමාණු බෝම්බයේ විකිරණ තවත් කිලෝ මීටර් 20 ක් දුරට විහිදී යනු ඇත. එය දරුණු රෝගාබාධවලට හේතුවක් වනු ඇත. 

පරම්පරා ගණනක් උපදින උපදින දරුවන්ට බලපෑම් කරනු ඇත. තෙහෙරාන් අගනුවර පමණක් ජනගහනය මිලියන 9 කි. පරමාණු බෝම්බ පිපිරීමක් සිදුවුවහොත්, සැණින් දස දහස් ගණනක් මියයනවා පමණක් නොව, කාලයත් සමග තුවාලකරුවන් සහ අතුරු ආබාධවලට ලක්වන අය මිය යෑමට පටන් ගනු ඇත. මිලියන ගණනින් මළ සිරුරු ගොඩ ගැසෙනු ඇත. 

මා මේ ඔබට පැහැදිලි කළේ කිලෝ ටොන් 15 පරමාණු බෝම්බයකින් සිදුවන විනාශයේ තරමය. ඒත් ඔබ දන්නවා ද මේ වනවිට ඇමෙරිකාව සතුව ඇත්තේ කිලෝ ටොන් පරමාණු බෝම්බ නම් නොවෙයි. මෙගාටොන් පරමාණු බෝම්බ ය. මෙගාටොන් බෝම්බයක් යනු කිලෝ ටොන් 1,000 ක ප්‍රබලත්වයකි. ඒ අනුව, සිදුවන විනාශය ඉරානයට පමණක් සීමා නොවනු ඇත. අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් ද විනාශ වනු ඇත. 

හූති සටන්කාමීන් ද මේ වනවිට කරළියට පැමිණ සිටී. ඒ, ඉරානයට සහාය දක්වමිනි. හූතිවරුන් ද හිස්බුල්ලා සහ හමාස් මෙන් ඉරානයට අනුබද්ධ සටන්කාමීන් කණ්ඩායමක් යැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඊශ්‍රායලය ද පැවැසුවත්, එය එසේ නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. හූතිවරුන් ද ෂියා මුස්ලිම්ය, ඉරානය ලෝකයේ ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යයයි. 

ඉරානයේ දැක්ම සහ ආකල්ප, හූතිවන්ගේ දැක්ම සහ ආකල්පවලට වෙනස්ය. එසේ වුවත්, දිනෙන් දින ඔඩුදුවන මෙම අර්බුදයේ දී, හූතිවරුන්ගේ සහාය හිමිවන්නේ ඉරානයටය. 

ඔවුන් ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කරයි. හූති සටන්කාමීන්ගේ (ඇමෙරිකාවට අනුව මොවුන් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයකි.) ක්‍රියාකාරකම් යනු හුදෙක් යේමනයට සීමා වූ අභ්‍යන්තර ගැටුමක් නොව, එය ගෝලීය භූ-දේශපාලනික බල අරගලයක තීරණාත්මක සාධකයකි. 

ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භයේ පටන් අපට හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන අසන්න ලැබුණි. සමුද්‍ර සන්ධියේ පිහිටීම ගැන විස්තර දැන ගන්න ලැබුණි. දැන්, ඉරානයට සහාය පළ කරමින් සිදුවුණු හූතිවරුන්ගේ ආගමනයත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හැර කලාපයේ තවත් සමුද්‍ර සන්ධියක් ගැන ද කතාබහක් නිර්මාණය වී ඇත. 

මෙය දෙවැනි සමුද්‍ර සන්ධිය වන්නේ බබ් අල්-මැන්ඩබ් (Bab al-Mandab) ය. යේමනය සහ ඊට පහළින් අප්‍රිකා මහද්වීපයේ ඉහළ කෙළවර පිහිටි ජිබුටි රාජ්‍යය අතරින් බබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධිය දිවයයි. රතු මුහුද සහ ඒ හරහා සූවස් ඇළ සම්බන්ධ කරන ප්‍රධාන දොරටුව වන්නේ බබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධියයි. 

ලෝක වෙළෙඳාමෙන් සියයට 12ක් සහ සමස්ත බහාලුම් ප්‍රවාහනයෙන් සියයට 30ක් පමණ ගමන් කරන්නේ මෙම පටු සාගර මාර්ගය හරහාය. හූති සටන්කාමීන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මගින් මෙම මාර්ගය අවහිර කිරීමට කටයුතු කළහොත්, නෞකාවලට සිදුවන්නේ අප්‍රිකාව වටා වූ බලාපොරොත්තුවේ තුඩුව (Cape of Good Hope) හරහා ගමන් කිරීමටය. මෙය ඉතා දිගු ගමනකි. මුහුද රළු වන්නේ නම්, ගමන ප්‍රමාද වෙයි. අවදානම්ය. ගමනාන්තයට ළඟා වීමට අමතර දින 10 සිට 14 දක්වා කාලයක් ගත වෙයි. 

මේ හේතුව නිසා ද ඉන්ධන සහ රක්ෂණ ගාස්තු අධික ලෙස ඉහළ යයි. එහි අවසාන ප්‍රතිඵලය, ලොව පුරා භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය උග්‍ර වීමය. ඉරානය විසින් මේ වනවිටත් අවහිර කරනු ලැබ ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධිය අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. හෝමූස් ලෝකයේ ප්‍රධානතම බලශක්ති දොරටුව ලෙස සැලකෙන අතර ලොව තෙල් සැපයුමෙන් සියයට 20ක් පමණ එය හරහා ගමන් කරයි. 

බබ් අල්-මැන්ඩබ් යනු තෙල්වලට අමතරව, නිමි භාණ්ඩ, ආහාර සහ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධානම පාරිභෝගික දොරටුව යැයි කීවොත් එය නිවැරදිය. හෝමූස් අවහිර වීමෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වන විට, බබ් අල්-මැන්ඩබ් අවහිර වීමෙන් සමස්ත ගෝලීය සැපයුම් දාමයම (Supply Chain) බිඳ වැටෙනු ඇත. 

හෝමූස් අවහිර කිරීමේ හැකියාව ඇත්තේ ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට වුව ද, බබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධිය පාලනය තිරීමේ හැකියාව හූතිවරුන් සතුවීම, ලෝකයට තවත් හිසරදයක් වනු ඇත. හේතුව ඉරානය මෙන් නොව, හූතිවරුන් අන්තර්ජාතික නීතිරීතිවලට හෝ රාජ්‍යතාන්ත්‍රික සම්මුතීන්ට බැඳී නොසිටින බැවිනි. 

බබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම අස්ථාවර වුවහොත්, යුරෝපය සහ ආසියාව අතර වෙළෙඳ ගනුදෙනු දැඩි අර්බුදයකට ලක් වනු ඇත. අප ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන රටවලට එහි බලපෑම සෘජුවම දැනෙනු ඇත. භාණ්ඩ හිඟය, නැව් ගාස්තු ඉහළ යෑම සහ නිෂ්පාදන පිරිවැය වැඩිවීම, ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත. 

ලුසිත ජයමාන්න 
Al Jazeera ඇසුරිනි

Classified_Ad