නිල් පෙන්ගුයින් බේරා ගනිමු ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 21, 2026

නිල් පෙන්ගුයින් බේරා ගනිමු !

අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයේ විවිධ රටවල වෙසෙන පරිසරයට සහ සතුන්ට ආදරය කරන පාසල් දූ දරුවන්, පරිසරය වෙනුවෙන් සහ සතුන් රැක ගැනීම වෙනුවෙන් හරි අපූරු දේ කරනවා. නවසීලන්තයෙන් අසන්න ලැබෙන මේ කතාවත් එවැන්නකි. 

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර උතුරු වෙරළ තීරයේ පිහිටි, බ්‍රවුන්ස් බේ (Browns Bay), කැම්ප්බෙල්ස් බේ (Campbells Bay) සහ මිල්ෆෝඩ් බේ (Milford Bay) යන වෙරළවලට ගිය ඕනෑම අයකුට මේ වනවිට අලුතින් සවි කළ පුවරු කීපයක් දකින්න ලැබේ. ඒ, පුවරුවල ලියා ඇත්තේ, ‘පුංචි නිල් පෙන්ගුයින්’ (Little Blue Penguins) සුරැකීමේ වැදගත්කමය. 

‘පුංචි නිල් පෙන්ගුයින්’ යනුවෙන් හැදින්වන්නේ, ලොව කුඩාම පෙන්ගුයින් විශේෂය වන ‘කොරොරා‘ (Kororā) පෙන්ගුයින්ය. පියාඹන්න වරම් නැතත්, පෙන්ගුයීන් කියන්නේ අහස අහිමි කුරුලු විශේෂයකි. පියාඹන්න නොහැකි වුවත්, පෙන්ගූවීන්ට මුහුදේ බොහොම වේගයෙන් පීන්නන්න පුළුවනි. 

වෙන කිසිම කුරුල්ලකුට එසේ කළ නොහැකිය. ඉතාම අහිංසක ‘පුංචි නිල් පෙන්ගුවීන්ලා’ වැනි පෙන්ගුයින්ලා මේ වනවිට දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී. මනුෂ්‍ය අපේ නොසැලකිලිමත්කම ඊට ප්‍රධාන හේතුව වෙයි. 
‘කොරොරා’ පෙන්ගුයින්ලාට මුහුදු වෙරළේ ගැවසෙන බල්ලන් වැනි සතුන්ගෙන් ද තර්ජන එල්ල වෙයි. ඒ සියලු දේ ගැන ජනතාව දැනුවත් කරමිනුයි මෙම පුවරු සවි කිරීම සිදු කර ඇත්තේ. මේ පුවරු සවි කිරීම පසුපස සිටින්නේ පරිසරයට ආදරය කරන පාසල් සිසුවියන් සිව්දෙනෙකි. 

ඒ අයගෙන් එක් කෙනකු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ෂේන්යා ජයමාන්න. ඇල්බනි උසස් පාසලේ ඉගෙනුම ලබන ෂේන්යා, මෙම අපූරු කටයුත්තට සම්බන්ධ වී සිටින්නේ ෂාලට් හිගර්ටි, හාපර් බේකල් සහ ඔලිවියා තොම්සන් යන ඇගේ පාසල් මිතුරියන් ද සමග හවුලේය. 

ඇල්බනි උසස් පාසලේ සතියේ සෑම බදාදා දිනකම, පරිසරයට, සමාජයට බලපෑමක් කළ හැකි ආකාරයේ ව්‍යාපෘති පැවැත්වෙයි. සිසුන්ට කණ්ඩායම් වශයෙන් එක් වී, කණ්ඩායම් හැඟීමෙන් සමාජයට වැඩදායී කැමැති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමක් සිදුවෙයි. 

තමන් කැමති සහ තමන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් ඔස්සේ සමාජයට යහපතක් කිරීමට සිසුන්ට උනන්දු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පාසල් බලධාරීන් පවසයි. ෂේන්යා, ෂාලට්, හාපර් සහ ඔලිවියා කියන මේ සිසුවියන් සිවුදෙනා අවදානය යොමු කළේ අසරණ කොරොරා පෙන්ගුයින්ලා, උන් මුහුණදෙන තර්ජනනවලින් ආරක්ෂා කර ගැනීමය. 

සිසුවියන් සිවුදෙනා, මාස ගණනාවක් තිස්සේ පෙන්ගුයින්ලා අධ්‍යයනය කළා. ඔවුහු කොරොරා පෙන්ගුයීන්ලා වෙරළට එන වෙලාව, වෙරළේ රැදී සිටින වෙලාව ආදිය ගැන විමසිලිමත් වූහ. වසරේ මුල් භාගය පුරාම පෙන්ගුයින්ලාගේ ජීවන රටාව සහ උන් ආරක්ෂා කරගන්නා ආකාරය ගැන කරුණු රැස් කළ සිසුවියන් පසුව ප්‍රායෝගිකවම ක්‍රියාත්මක වීමට තීරණය කෙරුණි. ඒ අනුව ඕක්ලන්ඩ් බලධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එකතු වී, ජනතාව දැනුවත් කිරීමේ පුවරු සවි කළා. 
"මේ ව්‍යාපෘතිය හරහා පරිසරය වෙනුවෙන් අපට තිබුණු උනන්දුව සැබෑ වෙනසක් බවට පත් කරන්න හොඳ අවස්ථාවක් ලැබුණා." යැයි සිසුවියන් පවසන්නේ මහත් ආඩම්බරයෙනි. සිසුවියන්ගේ අගනා ක්‍රියාව පිටුපස තවත් හදවතට සමීප හේතුවක් තිබෙනවා. ඒ තමයි සිල්වියා ඩුරන්ට්. 

දැරියන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ, සිල්වියා ඩුරන්ට්ට උපහාර පිණිසය. සිල්වියා ඩුරන්ට් කියන්නේ මේ පළාතේ කුරුල්ලන්ට ආදරේ කළ, කුරුල්ලන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙහෙසුණු තැනැත්තියක්. ඇය නවනීලන්ත ජාතික කාන්තාවකි. පරිසරවේදිනියකි. 
කුරුලු අම්මා සිල්වියා ඩුරන්ට්

කුරුල්ලන්ට ආදරේ නිසාම, මේ පළාතේ වැසියන් ඇය ආදරයෙන් හඳුන්වන්නේ ‘කුරුලු අම්මා’ යන නමින්. තුවාල වුණු, අකරතැබ්බවලට ලක්වුණු කුරුල්ලන් සහ විශේෂයෙන්ම පෙන්ගුයින්ලා දහස් ගණනක් බේරාගෙන උන්ට සාත්තු කළ ඇය, 2018 වසරේදී වයස අවුරුදු 85 දී විශ්‍රාම ගියා. 

ෂේන්යා, ෂාලට්, හාපර් සහ ඔලිවියා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, සිල්වියා ඩුරන්ට් පරිසරය සහ සතුන් සංරක්ෂණ කිරීමට කැපවී කළ මෙහෙවර ඉදිරියට ගෙන යෑමක් ලෙස නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad