![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVDqfAA0OdZgspJ4ktB4V4LqUUm2tjunmJblennRY-uqSZUk4mCre3CN1OnT6y6dQtEZO-95ZfN610IGuI9xytZT24Cl6K31iseBFMKVZGV8Ia2NiA_1uGW-5byb9izN4eULYssb9JHgN_/s16000/GettyImages-973963888.jpg)
කොලොම්බියාවේ ‘චිරිබිකෙත් ජාතික වනෝද්‍යානය’ යනුවෙන් හඳින්වෙන වනාන්තර ප්‍රදේශය ඇමසන් වනාන්තරයට අයත් කොටසකි. පසුගිය පනස් වසර පුරාවට, කොලොම්බියාවේ බෙදුම්වාදී ‘ෆාර්ක්’ ගරිල්ලන් සහ කොලොම්බියා රජයේ හමුදාව අතර යුද්ධයක් පැවැතිණි. ෆාර්ක් ගරිල්ලන් සැඟවී සිටියේ මෙම චිරිබිකෙත් ජාතික වනෝද්‍යානයේය. එහෙයින් කිසිවකු මෙම වනෝද්‍යානයට ඇතුළු වූයේ නැත.
වනාන්තර ප්‍රදේශ ගවේෂණයට ලක් වූයේ ද නැත. කෙසේ නමුත් ෆාර්ක් ගරිල්ලන් සහ රජය අතරේ සාම සාකච්ඡා ඇරැඹීමත් සමඟ අද වනවිට ගැටුම් නිමාවට පත් වී තිබේ. අද ෆාර්ක් ගරිල්ලන් නොසිටියත්, තෙත් අඳුරු චිරිබිකෙත් වනාන්තරය, අනතුරුදායක තැනකි. අබිරහස් පිරුණු තැනකි.
හරිහැටි ගවේෂණයට ලක් නොවුණු වනාන්තරයට ඇතුළු වී, ගවේෂණයක් ඇරැඹීම සිදුවූයේ බ්‍රිතාන්‍ය සහ කොලොම්බියානු රජයේ එකමුවෙනි. ඒ අනුව, බ්‍රිතාන්‍ය කොලොම්බියානු ගවේෂණ කණ්ඩායමක් වනාන්තරය තුළට පය තැබුවේය. ඔවුන්ට යුරෝපීය පර්යේෂණ කවුන්සිලයේ මූල්‍ය අනුග්‍රහය හිමිවිය. ගවේෂණ කණ්ඩායමට නායකත්වය දුන්නේ එක්ස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොසේ ඉරියාවේ ය.
ගවේෂණ කණ්ඩායම වනාන්තරයට ඇතුළු වූයේ සත්ව ලෝකයට ආගන්තුක සත්ව විශේෂ හෝ ලොවෙන් සැඟවුණු ස්වදේශ ගෝත්‍රිකයන් සිටිනු ඇතැයි අපේක්ෂාවෙනි. ගවේෂණ කණ්ඩායම සමඟ රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායමක් සහ කැමරාකරුවෝ ද එක් වී සිටියහ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMWqdPekZNz6S2_tcDdETYZtDxutnyV-xFU-ERD70L_em2CgXfAfeYEK69SG5L4oCaSGcr05tVo369km_iNCVAWk2vFnXKZ4lJ1OL2w_WwE2mzI31CS1uH69f5lFFJknfD7MdDU_IEhhAO/s16000/36231934-8998147-The_d-a-1_1606754078948.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEIiXjra8UOydndUdg8_qRX-leoLDZZKuorw_4duNj10S4rdJxw0jKo9xJXMqQ0onXkKt92ccXuzmrvHfzVcxrFiS2KiGFoCQYepcT5opB52-KVA7xoaE-eMP_gbsbxBNFtB0iUqAvdMvN/s16000/36231938-8998147-The_team_uncovered_the_historical_artwork_which_is_now_being_cal-a-5_1606674941332.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgZpJAi-dZSbUaGCoqtcHaXZVnapk7c0Knpr-_h9O9uFcNYiTZJi0Zn-CdN3HRBIhvRCtboL-rcfBtu3qSZ8QpyvtRxFmmCgj5vrxs_pDNLcjGo7cM9Cf-GkEDuIVRjboy4quMSkmyaaqR/s16000/36235258-8998147-The_site_is_deep_in_the_heart_of_Colombia_in_the_Serrania_de_la_-a-2_1606754078965.jpg)
ගල් පර්වත අතරින්, වනාන්තරය මැදට පිවිසි, ගවේෂණ කණ්ඩායම මවිතයට පත් විය. ඒ, ඔවුන් ඉදිරියෙන් වූ ගල් බිත්තියක් පුරා සැතපුම් 8 ක් දිගට සිතුවම් කළ චිත්‍ර දැකීමෙනි. මේ චිත්‍ර වසර 12,500 ක් පැරණි බව සිදු කළ කාලනිර්ණ පරීක්ෂණවලින් අනාවරණය විය. වසර දහස් ගණනක් එම සිතුවම් සුරැකිව තබා ගැනීමට වනාන්තරය සමත් වීම, කාගේත් පුදුමයට හේතුවක් විය. සිතුවම් පමණක් නොව, සිතුවම්වලින් නිරූපණය කළ සතුන් දැකීමෙන් ගවේෂණ කණ්ඩායම තවත් පුදුමයට පත් විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKuOzrjnhS7q4H81_T7ojRnyB49eOrUgqqfEJCWERJHZ_uV7lC_VrEin-wkbbkXRh8WWS2Z6Ra6WOlrTT6zAhW3MLpgz3540QhnOGLynwayb5fFaP3JwTqGblqxpZsRvEzcmcP67L-BhWX/s16000/36232286-8998147-The_eight_mile_wall_of_prehistoric_rock_art_featuring_animals_an-a-1_1606674941290.jpg)
ඊට අමතරව, ඔටුවන්ගේ පවුලට අයත් ‘පැලේලෝ-ලාමා’ සතුන් ද සිතුවම් අතරේ දකින්න ලැබීම තවත් සුවිශේෂත්වයකි. ලාමා සතුන් ලතින් ඇමෙරිකාවට ආවේණික වුවත්, සිතුවම් අතරේ දකින්න ලැබෙන යෝධ ලාමා සතුන් අද වනවිට ලොවෙන් වදවී ගොස් ඇති බව ගවේෂණ කණ්ඩායම පැහැදලි කර තිබේ. සිතුවම් පිරි ගල් බිත්තිය පිහිටි මෙම ප්‍රදේශය හැඳින්වෙන්නේ ‘සෙරනිනා දෙ ලා ලින්ඩෝසා’ යනුවෙනි.ගවේෂණ කණ්ඩායම ගල් බිත්තිය ‘පැරැන්නන්ගේ සිස්ටන් දෙව් මැදුර’ ලෙස නම් කළේය.
‘සිස්ටන් දෙව් මැදුර’ තිබෙන්නේ රෝමයේ වකිතානයේය. පාප්තුමන්ගේ නිල නිවස වන්නේ ද මෙම දෙව් මැදුරය. ලොව ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලොගේ චිත්‍ර මෙම දෙව් මැදුරේ බිත්තියේත් සිවිලිමේත් දකින්න ලැබේ. දෙවියන් වහන්සේ ආදම් මැවූ ආකාරය දැක්වෙන සිතුවම ඒ අතරින් කැපී පෙනෙයි.පුරාණ මිනිසුන්ගේ අත් සළකුණු ද සිතුවම් අතරේ දකින්න ලැබේ. මීට අවුරුදු 17,000 කට පෙර අද ලතින් ඇමෙරිකාව ලෙස අප හඳුන්වන භූමි ප්‍රදේශය යුරෝපය හා ගොඩබිම් පාලමකින් සම්බන්ධ වී තිබෙන්න ඇති බවත්, සයිබීරියාවේ ආදි ගෝත්‍රික වැසියන් ඒ හරහා උණුසුම පිරිණු ලතින් ඇමෙරිකා භූමියට සංක්‍රමණය වන්න ඇති බවත් විද්‍යාඥයන්ගේ මතය වෙයි. ඒත් සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පීන් කවුරුන්දැයි යන්න නොවිසඳුණු අබිරහසකි. ගවේෂණ කණ්ඩායම අනුමාන කරන පරිදි, මේ ඉපැරණි සිත්තරුන් ‘යනෝමානී’ හෝ ‘කයාපෝ’ ගෝත්‍රිකයන් විය බවය.
‘යනෝමානී’ හෝ ‘කයාපෝ’ වසර දහස් ගණනක් ඇමසන් වන්නතරේ ජීවත් වී ඇති බව පැවැසෙයි. යනෝමානී’ ගෝත්‍රික වැසියන් ගැන ලෝකයා පළමුවෙන් දැනගත්තේ 1759 දී ස්පාඤ්ඤ දේශගවේෂකයන්, ‘යනෝමානී’ ගම්මානයකට ගොස් ‘යනෝමානී’ ගෝත්‍රික නායකයකු හමුවීමෙන් පසුවය. ‘කයාපෝ’ ගෝත්‍රිකයන් ගැන දන්නා දේ අල්පය. මොවුන්ගේ ගහණය 8,600 ක් පමණ යැයි පැවැසෙයි. ‘යනෝමානී’ හෝ ‘කයාපෝ’ ගෝත්‍රිකයන් ජීවත් වූ බව පැවැසෙන්නේ බ්‍රසීල සහ වෙනිසියුලා දේශසීමා ප්‍රදේශයේ ඇමසන් වනාන්තරයේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiINu6wu3y2jjrETd3zkJtcfZINujDWqDYckmhNWFzmOv75Gkq9x8w_lwq9753SSoL4whyZbGiY31fIC6acOPSvOgcDiJuq11BDHRhkOlO-elAKafEv5KgKi7mj2paHmsOqORGDaE-krhXk/s16000/Ella+Al-Shamahi.jpg)
ගවේෂණ කණ්ඩායම සමඟ මෙම ගවේෂණයට එක්වුණු රූපවාහිනී කණ්ඩායමේ කිසිවකු පවා වනාන්තරය තුළ සැඟවුණු චිත්‍ර පිරි ගල් බිත්තියක් හමුවේවි යැයි කල්තියා දැන සිටියේ නැත. කැමරා කණ්ඩායම අපේක්ෂා කළේ සත්ව ලෝකයට ආගන්තුක ගෙම්බකු, මළුවකු, මකුළුවකු, සර්පයකු හෝ කුරුල්ලකු දකින්න ලැබේවි යැයි පමණි. කෙසේ නමුත් හමුවුණු බිතුසිතුවම් ඒ සියල්ල වෙනස් කළේය.
ගවේෂණ කණ්ඩායමේ ත්‍රාසජනක වික්‍රම රූගත කෙරුණු අතර, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවෙන් ඒවා මේ වනවිට විකාශය කෙරේ. ඒ, ‘ජංගල් මිස්ටරි: ලොස්ට් කින්ඩම්ස් ඔෆ් ඇමසන්’ යන වාර්තා වැඩසටහන ඔස්සේය. මෙම වාර්තා වැඩසටහන් පෙර ඉදිරිපත් කරන්නේ, ගවේෂණ කණ්ඩායම සමඟ එම වීර වික්‍රමයට එක්වුණු බ්‍රිතාන්‍ය ජාතික, පුරාවිද්‍යාඥයකු මෙන්ම, දේශගවේෂකයකු ද වන නිවේදිකා මහාචාර්ය එලා අල් ෂමාහි ය. මැය ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකි.
ඩේලිමේල් ඇසුරිනි