2020 ලෝක විත්ති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

2020 ලෝක විත්ති

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මිනිසුන් ගෙවල්වල කොටු කළ සතුන්ට නිදැල්ලේ හැසිරීමට අවස්ථාවක් උදා වූ වසරක් ලෙස මෙම 2020 සැලකෙයි. 

2019 දෙසැම්බරයේ ආරම්භ වී 2020 වනවිට ලොව සෑම රටකටම සහ පාලන ප්‍රදේශයකටම වයිරසය ව්‍යාප්ත විය. ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වයිරසයෙන් ලොවට එල්ල වුණු බලපෑම සුළුපටු නොවෙයි. 

ජනවාරි 3 වැනිදා - ඇමෙරිකන් හමුදා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණි, ඉරාන විප්ලවීය හමුදා ජනරාල් කසීම් සුලෙයිමානී ඩ්‍රොන ප්‍රහාරයකින් ඝාතනය කළේය. සුලෙයිමානී සමඟ ඉරාක හමුදාවේ අතිරේක බලඇණි ප්‍රධානී අබු මහ්දි අල් මුහන්දිස් ද ඝාතනයට ලක් විය.
ඉරාන විප්ලවීය හමුදා ජනරාල් කසීම් සුලෙයිමානී

ජනවාරි 8 වැනිදා - ඉරාකයේ ඇමෙරිකන් හමුදා ක‍ඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානය, බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඒ, සුලෙයිමානී ඝාතනයට පළිගැනීමක් ලෙසය. යුක්රේන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඉරානයේ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් කඩා වැටුණේ එහි සිටි 176 දෙනා මරුමුවට පත් කරමිණි. 

ජනවාරි 10 වැනිදා - ඕමානයේ සුල්තාන් කබූස් බින් සාද් (79) අභාවප්‍රාප්ත විය.

ජනවාරි 30 වැනිදා - චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වූ වයිරසය, ලෝක වසංගතයක් තෙක් දුරදිග යාවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වරට අනතුරු ඇගවීමක් කළේය.
පෙබරවාරි 11 වැනිදා - ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයෙන් ආරම්භ වූ කොරෝනා පවුලට අයත් වයිරය, කොවිඩ් 19 යන නිල නාමයෙන් නම් කෙරුණි.

පෙබරවාරි 13 වැනිදා - නාසා නිව් හොරයිසන් යානය, විශ්වයේ ඈත අරාකෝත් නැමැති ග්‍රහ වස්තුව ගවේෂණය.

පෙබරවාරි 24 වැනිදා - සන්ධාන රජය බිඳ වැටීත් සමඟ, මුහිදීන් යසීන් මැලේසියාවේ නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය.

පෙබරවාරි 29 වැනිදා - ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් තලේබාන් සාම ගිවිසුමට අත්සන් තැබුණි.

මාර්තු 5 වැනිදා - ඇමෙරිකානු සොල්දාදුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල විය. 

මාර්තු 11 වැනිදා - ලෝක සෞඛ්‍ය සංවිධානය, කොවිඩ් 19 වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව නිවේදනය කළේය‍. ඒ සමඟ ආසාදිතයන් සහ මරණ වාර්තා වෙද්දී රටවල් රැසක් ලොක්ඩවුන් කෙරුණි. 

අප්‍රේල් 14 වැනිදා - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේය. ඒ, චීනයේ කීමට කන් දී, කොරෝනා වයිරසයේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කිරීම ප්‍රමාද කළ බවට චෝදනා නගමිනි. 

අප්‍රේල් 20 වැනිදා - ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ විපක්ෂ දේශපාලන සන්ධානයේ නායක බෙනී ග්‍රෑන්ට්, ඒකීය ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූහ.

අප්‍රේල් 21 වැනිදා - උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතුරුදන් යැයි පැවැසිණි. බලතල සොහොයුරිය කිම් යෝ ජොංග්ට පැවැරීම ද සිදුවිය. පසුව වාර්තා වූයේ කිම් ජොන් උන් ට හදවත් සැත්කමක් සිදු කළ බවය. 

අප්‍රේල් 22 වැනිදා - ඉරානය ඔවුන්ගේ පළමු හමුදා චන්ද්‍රිකාව කක්ෂගත කළේය.

මැයි 7 වැනිදා - ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් නුවර ගෑස් කාන්දුවක් සිදුවී, 11 දෙනෙක් මියගියහ. 5,000 ක් රෝගී වූහ.

මැයි 9 වැනිදා - ඉන්දු චීන දේශසීමා සොල්දුදාවන් අතර ගැටුමක් හටගත්තේය.

මැයි 12 වැනිදා - ඇෆ්ගනිස්තානයේ මාතෘ රෝහලට තලේබාන් ත්‍රස්තයෝ පහර දුන්හ.

මැයි 26 වැනිදා - ඇමෙරිකන් කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියකුගේ අඩන්තේට්ටම් හේතුවෙන් මියයෑමත් සමඟ කළු ජාතිකයන්ගේ ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් දැවැන්ත විරෝධතා රැල්ලක් ඇවිලිණි.
ජෝජ් ෆ්ලොයිඩ් මියයෑම
බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා

ජූනි 15 වැනිදා - ඉන්දු චීන දේශසීමාවේ දරුණු ගැටුම් ඇවිලිණි.

ජූනි 30 වැනිදා - චීන රජය හොංකොං වෙනුවෙන් නව ආරක්ෂක නීති හඳුන්වා දුන්නේය. 

ජූලි 1 වැනිදා - රුසියන් ජනපතිගේ ධුර කාලය තවත් දෙකකින් දීර්ඝ කිරීමේ ජනමත විමසුම පැවැත්වුණු අතර, රුසියන් වැසියන්ගේ අනුමැතිය එම ව්‍යවස්ථා සංශෝධනයට හිමිවිය. ඒ, අනුව ජනාධිපති පුටින්ට 2036 තෙක් ධුරයේ රැදී සිටීමට හැකියාව හිමිවිය.
රුසියන් ජනාධිපති පුටින්, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක සංචාරය කළ අවස්ථාව

ජූලි 10 වැනිදා - තුර්කියේ ඉස්තාන්බුල් නුවර හගියා සොෆියා කෞතුකාගාරය, මුස්ලිම් පල්ලියක් ලෙස නම් කෙරුණි.
හගියා සොෆියා

ජූලි 25 වැනිදා - උතුරු කොරියා නායක කිම් ජොන් උන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් එරට දේශසීමා වසා දැමුවේ, කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමේ අරමුණින්ය.

ජූලි 30 වැනිදා - අතීතයේ අඟහරු මතුපිට ජීවය පැවැතියේදැයි සොයා බැලීමට නාසා ආයතනය රොබෝ ගවේෂණ යානයක් යැවීය.

අගෝස්තු 3 වැනිදා - ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැනග් ගගන කැප්සියුලයෙන් පළමු වරට නාසා ගගනගාමීහු දෙදෙනෙක් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියහ. ඔවුන් දෙදෙනා ඩග් හර්ලි සහ බොබ් බෙන්කන්ය.
ස්පේස් එක්ස් ගමන

අගෝස්තු 4 වැනිදා - ලෙබනනයේ බේරුට් වරායේ, අනාරක්ෂිත ගබඩා කළ ඇමොනියම් නයිට්‍රේට් පොහොර ටොන් 1,400 ක් පුපුරා යෑමෙන්, 220 ක් මියගොස් දහස් ගණනක් තුවාල ලැබූහ. ලක්ෂ 3 කට උන්හිටිතැන් අහිමි විය.
බේරූට් වරායේ මහා පිපිරීම

අගෝස්තු 9 වැනිදා - බෙලරූසයේ ජනාධිපතිවරණයෙන් දිගු කලක් තිස්සේ බලයේ සිටින, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට යළි අති විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව ජනාධිපතිවරණය දූෂිත යැයි චෝදනා නගමින් විපක්ෂ විරෝධතා ඇරැඹිණි.

අගෝස්තු 11 වැනිදා - කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම වැළැක්විය හැකි ලොව පළමු එන්නත ස්පුට්නික් 5 ලොවට හඳුන්වා දීමටත් ලියාපදිංචි කිරීමටත් රුසියාව සමත් විය.

අගෝස්තු 13 වැනිදා - ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය විය.

අගෝස්තු 15 වැනිදා - ජපාන තෙල් නැවක්, ඉන්දීය සාගරයේ මුරුසි දූපත අසලදී අනතුරට පත් වී තෙල් ටොන් 1,000 ක් සාගරයට කාන්දු විය.
තෙල් නැව් අනතුර

අගෝස්තු 18 වැනිදා - අප්‍රිකාවට අයත් මාලි රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.

අගෝස්තු 28 වැනිදා - ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරය හෙබවූ ෂෙන්සෝ අබේ ජපන් අගමැති ධුරයට සමුදුන්නේය. 

සැප්තැම්බර් 4 වැනිදා - බහරේනයත් ඊශ්‍රායලයත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය විය.

සැප්තැම්බර් 14 වැනිදා - ඩයමන්ඩ් ප්‍රින්සෙස් තෙල් නැව ශ්‍රී ලංකාව අසල ඉන්දියන් සාගරයේ අනතුරට පත්වීම.

සැප්තැම්බර් 19 වැනිදා - සිකුරු වායු ගෝලයේ ජීවීන් ඇතැයි සාක්ෂියක් හමුවීම.

සැප්තැම්බර් 29 වැනිදා - කුවේට් එමීර් ෂෙයික් සබා අල් සබා (91) අභාවප්‍රාප්ත වූ අතර, ඔටුන්න හිමි නවාෆ් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ් කුවේට් එමිර්වරයා බවට පත් විය.

ඔක්තෝබර් 16 වැනිදා - ප්‍රංශයේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයකු අතින් සැමුවෙල් පැටී නමැති ගුරුවරයා ඝාතනය විය.

ඔක්තෝබර් 17 වැනිදා - නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වූ අතර, අගමැතිනී ජැසේන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ කම්කරු පක්ෂයට අති විශිෂ්ට ජයක් හිමිවිය.
නවසීලන්ත අගමැතිනිය ජැසෙන්ඩා

ඔක්තෝබර් 20 වැනිදා - විශ්වයේ වේගයෙන් ඇදී යන බෙන්නු නමැති ග්‍රහකයට ළං වී, එහි පස් සාම්පල සූරා ලබා ගැනීමට නාසා ඔසයිරිස් රෙක්ස් රොබෝ යානය සමත් විය. 
ඔසයිරිස් රෙක්ස් යානය

ඔක්තෝබර් 26 වැනිදා - සඳේ, හිරු එළිය වැටෙන කලාපයේ ජල අංශු ඇති බව නාසා තහවුරු කළේය.

ඔක්තෝබර් 27 වැනිදා - ආමේනියාවත් අසර්බයිජානයත් අතර, නගාර්නෝ කරබාක් පළාත මුල්කොට ගනිමින් ගැටුමක් නිර්මාණය විය.

ඔක්තෝබර් 30 වැනිදා - තුර්කිය සහ ග්‍රීක දූපත් රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 7 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි. 81 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 1,000 ඉක්මවීය.

භූමි කම්පාවෙන් පසු සුන්බුන් අතර දින ගණනක් සිරවී සිටි තුර්කි දැරියක් බේරා ගැනීම

නොවැම්බර් 3 වැනිදා - ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ජයග්‍රහණයට අවශ්‍ය ඉලෙක්ට්‍රෝරල් ඡන්ද ලබා ගත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය‍. උප ජනාධිපතිය ලෙස තේරී පත් වූයේ කමලා හැරිස්ය. උප ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වුණු පළමු අවස්ථාව මෙයයි.
ට්‍රම්ප් සහ මෙලානියා
බයිඩන් සහ කමලා හැරිස්

නොවැම්බර් 4 වැනිදා - ඉතියෝපියාවේ, ටිග්රේ පළාත මුල්කොට ගනිමින් යුද ගැටුම් ආරම්භ වීම‍.

නොවැම්බර් 9 වැනිදා - ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් හවුලේ නිපදවූ කොවිඩ් 19 ආසාදනය වළක්වන එන්නත සියයට 90 ක් සාර්ථක බව තහවුරු කෙරුණි.

නොවැම්බර් 15 වැනිදා - තුන්වැනි ලෝකයේ රටවල් ආවරණය වන පරිදි, ආසියා පැසිෆික් කලාපීය රටවල් 15 ක් සම්බන්ධ වෙමින්, ලොව විශාලතම ආර්ථික සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබුණි.

නොවැම්බර් 16 වැනිදා - ඇමෙරිකාවේ මොඩර්නා සමාගම නිපදවූ කොවිඩ් 19 ආසාදනය වළක්වන එන්නත සියයට 94.5 ක් සාර්ථක බව නිවේදනය කෙරුණි.

නොවැම්බර් 19 වැනිදා - ඇෆ්ගන් යුද්ධයේදී, යුද අපරාධ කළේ යැයි ඕස්ට්‍රේලියා හමුදාවට චෝදනා එල්ල විය.

නොවැම්බර් 23 වැනිදා - ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ එක් වී, ඇස්ට්‍රා සෙනකා ඖෂධ සමාගම නිපදවූ කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන එන්නතේ සාර්ථකත්වය, සියයට 70 සිට සියයට 90 දක්වා වැඩි කළ හැකි බව පැවැසිණි. මහා බ්‍රිතාන්‍යය එන්නත අනුමත කළේ දෙසැම්බර් 30 වැනිදාය.

නොවැම්බර් 24 වැනිදා - සඳෙන් පස් සාම්පල රැගෙන ඒමට චීනයේ චැංග් ඊ 5 රොබෝ යානය පිටත්ව ගියේය. යානය සාර්ථකව සඳ ට පතිත කළේ දෙසැම්බර් 2 වැනිදාය. එය යළි පස් සාම්පල සමඟ පෘථිවියට ද පැමිණියේය.

නොවැම්බර් 25 වැනිදා - සුපිරි පාපන්දු ශූර දියේගෝ මැරඩෝනාගේ අභාවය.
මැරඩෝනා

නොවැම්බර් 26 වැනිදා - ඊජිප්තුවෙන් මමී 100 ක් සොයා ගැණුනි.

නොවැම්බර් 27 වැනිදා - ඉරාන න්‍යෂ්ටික වැඩසටහනයේ පුරෝගාමී විද්‍යාඥ මොශේන් ෆන්රීසාදේ ඝාතනය කෙරුණි.

නොවැම්බර් 30 වැනිදා - ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට තෑගි කළ, පසුව වසර ගණනාවක් සත්වෝද්‍යානයක හුදෙකලාව ජීවත් වූ කාවන් හස්තියා ට කාම්බෝජයේ නව නිවහනක් හිමිවිය.

දෙසැම්බර් 9 වැනිදා - විශ්වයේ ඈත ‘රයුගු’ නමැති ග්‍රහකයෙන් පස් සාම්පල ලබා ගත් ජපන් රොබෝ යානය, එම පස් සාම්පල පෘථිවියට රැගෙන ආවේය.

දෙසැම්බර් 9 වැනිදා - ‘ෆයිසර්’ එන්නත මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට ලබා දීම ඇරැඹිණි.

දෙසැම්බර් 10 වැනිදා - ඉස්ලාමීය අන්තවාදයට පිටුදැකීමට ප්‍රංශ රජය නව නීති සකස් කළේය.

දෙසැම්බර් 11 වැනිදා - ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, මොරොක්කෝව සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹිණි.

දෙසැම්බර් 12 වැනිදා - ඊශ්‍රායලයත් භූතානයත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹිණි.

දෙසැම්බර් 13 වැනිදා - ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු ‘ෆයිසර්’ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීම ඇරැඹිණි.

දෙසැම්බර් 21 වැනිදා - වසර 800 කට පසු බෘහස්පති, සෙනසුරු සහ පෘථිවිය එක එල්ලයට පිහිටීමත් සමඟ නත්තල් තරුව ලෙස, බෘහස්පති, සෙනසුරු එකමත එක වැටී, පෘථිවිවාසීන්ට දකින්න ලැබුණි.

දෙසැම්බර් 22 වැනිදා - කොරෝනා විකෘති ප්‍රභේදයක් එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවිය. ඉන්පසු එංගලන්තයෙන් හමුවුණු වයිරසය වෙනත් එටවල් රැසකින් ද වාර්තා වීමට පටන් ගත්තේය.
නව වයිරස ප්‍රභේද රටවල් රැසකින් හමුවිය.

දෙසැම්බර් 23 වැනිදා - මොඩර්නා එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීම ඇරැඹිණි.

දෙසැම්බර් 24 වැනිදා - මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර පශ්චාත් බ්‍රික්සිට් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැණුනි.

විදෙස් මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom