කොරෝනා 2021 ඉවර වෙන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

කොරෝනා 2021 ඉවර වෙන්නේ නෑ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, උදා වූ 2021 වසර පුරා පවතිනු ඇති බවත්, එන්නත් කෙරෙහි පමණක් වැඩි විශ්වාසයක් නොතබා, නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීමට ලොව සෑම කෙනකුම ක්‍රියා කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ කියා සිටියේ, නව වසර වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින්, උදා වූ නව වසරට සුබ පතමිනි. 

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 දෙසැම්බරයේය. පසුගිය 2020 වසර පුරා වයිරසයෙන් ලෝකයට එල්ල වුණු බලපෑම අති මහත්ය. වයිරස වංසගතය හේතුවෙන් සිදුවුණු ආර්ථික හානිය ඉතා දරුණුය. 

රට රටවල ලක්ෂ ගණනකගේ රැකියා අහිමි කිරීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවක් වී ඇතැයි පැවැසෙයි. ගුවන් සේවා අක්‍රියවීමත් සමඟ සංචාරක කර්මාන්තය මුළුමනින්ම පාහේ අඩපණ විය.

මේ වනවිට කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ එන්නත් කීපයක් රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි. 

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම නිපදවූ එන්නත, ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම නිපදවූ එන්නත සහ මහා බ්‍රිතාන්‍යයේ ‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ඒ අතරින් කැපී පෙනෙයි. ‘ෆයිසර්’ එන්නත දැනටමත් මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට ලබා දෙයි. 

‘මොඩර්නා’ එන්නත තවමත් ලබා දෙන්නේ ඇමෙරිකානුවන්ට පමණය. ඇමෙරිකාවේ මීළඟ උප ජනාධිපතිනිය වීමට සූදානමින් සිටින 56 හැවිරිදි කමලා හැරිස් ට ලබා දුන්නේ ‘මොඩර්නා’ ප්‍රතිශක්තිකරණ එන්නතය.

‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් දෙකම මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වන්නේ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසුවය. 

‘ෆයිසර්’ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකන් හෙදියකට ‘කොවිඞ් 19’ ආසාදනය වූ බව ද වාර්තා විය.

‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ පමණක් නොව, ‘ඔක්ස්ෆර්ඞ්’ එන්නතට පවා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු රටවල එන්නත් ලබා දීම සිදුවන්නේ, එම රටවල පවතින ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය හේතුවෙන්, හදිසි ප්‍රතිචාර දැක්වීමක් සේ සලකාය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය එන්නත්වලට හිමි වී නැත්තේ එම එන්නත් කිසිවක් තවමත් සියයට 100 ක් සායනික අත්හදා බැලීම් අවසන් කර නොමැති බැවිනි.

“එන්නත් බෙදා දීම ආරම්භ වී තිබෙනවා. 2021 නව වසර පුරා එන්නත් බෙදා දීම සිදුවේවි. ඒත් එන්නත් කෙරෙහි පමණක් විශ්වාසය තබන්න එපා. මුහුණු ආවරණ පලඳින්න, අත් පිරිසුදුව තබා ගන්න, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්න. ලොව අප කවුරුත් මෙම යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපඳින්න ඕනෑ. කොරෝනා ආසාදිතයකු නොවීමටත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව කොරෝනා ආසාදිතයකු නම් අන් අයට එය ආසාදනය වීම වැළැක්වීමටත් සෑම කෙනකුම කටයුතු කරන්න ඕනෑ. ‘නව සාමාන්‍යකරණයට’ අප හුරු වී අනුගත වී අවසන්. එය මෙම නව වසර පුරා පවත්වාගෙන යෑමට අපට සිදුවේවි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඞ්නොම් ගෙබ්‍රියේසිස් කළ නිවේදනයේ සඳහන් වෙයි.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom