වසංගතය මැද උදා වුණු නව වසර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

වසංගතය මැද උදා වුණු නව වසර

‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස හේතුවෙන් පැනැවූ තහංචි සහ සංචරණ සීමා මැද ලෝකවාසීහු අද (1) නව වසර පිළිගත්හ.

‘කොවිඩ් 19’ වයිරස තවමත් ලොවට විශාල තර්ජනයක් බවත්, සෞඛ්‍ය උපදෙස් පිළිගනිමින් වගකීමෙන් කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝ වැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. කොරෝනා වසංගතය ඉහවහා ගිය රටවල සැමරුම් උත්සව සීමා කර තිබුණු බව වාර්තා වේ.

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ පළමුවෙන් නව වසර පිළිගත්තේ පැසිෆික් සාගරයේ පිහිටි කිරිබතී, සමෝආ සහ නවසීලන්ත දූපත් රාජ්‍යයයි. 

2021 උදාවෙද්දී සුපුරුදු පරිදි අලංකාර නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර ‘ස්කයි ටවර්’ කුලුනේ මල් වෙඩි සංදර්ශනයක් සහ ලේසර් කිරණවලින් අලංකාර වූ ආලෝක සංදර්ශනයක් ද පැවැත්විණි.

නවසීලන්තය ‘කොවිඞ් 19’ වයිරස වසංගතය සාර්ථකව පාලනය කරගත් රටකි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සහ එරට සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට ලක් වී තිබේ. 

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මධ්‍යයේ සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. ඒ, නව අවුරුදු උදාවත් සමඟ ඊයේ (31) රාත්‍රියේය. නවසීලන්තයේ අතිශය ජනප්‍රිය ‘බ්ලැක් සීඩ්ස්’ සංගීත කණ්ඩායම ඊට සහභාගී විය.
ක්‍රයිස්ට්චර්ච් නුවර පැවැත්වුණු ප්‍රසංගය

සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔපෙරා රඟහල ආශ්‍රිතව සිඩ්නි වරායේ අලංකාර මල්වෙඩි සංදර්ශන පැවැත්විය. 
සිඩ්නි නුවර මල් වෙඩි

සිඩ්නි මල් වෙඩි දැක ගැනීමට වාර්ෂිකව දහස් ගණනන් ඕස්ට්‍රේලියානුවන් පමණක් නොව, විදේශිකයන් ද සිඩ්නි නුවරට පැමිණෙන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වැඩි පිරිසක් දකින්න නොලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

හොංකොං, ජපානය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව ආදී ආසියානු රටවල් නව වසර පිළිගැනීම වෙනුවෙන් මල් වෙඩි සංදර්ශන සහ සැණකෙළි සීමා කර තිබුණේ එම රටවල කොරෝනා ව්‍යාප්තිය හේතුවෙනි. 
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පාලුවට ගොස් තිබුණි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් පැනැවූ දළදඬු තහංචි හේතුවෙන් උතුරු කොරියාවෙන් තවමත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වන්නේ නැත. උතුරු කොරියාවේ, යොංග්යැංග් අගනුවරට නව වසර පිළිගනිමින්, මල් වෙඩි සංදර්ශන පැවැත්වුණු අතර, උතුරු කොරියානු වැසියෝ දහස් ගණනක් ඊට එක් වී සිටියහ.
උතුරු කොරියානු අගනුවර වැසියෝ නව අවුරුදු උදාව සමරමින්

ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දීය රජය සහ සෞඛ්‍ය අංශ 2021 සැමරුම් උත්සව සහ සැණකෙළි සීමා කර තිබුණු අතර ගිණිකෙළි සහ මල් වෙඩි සංදර්ශන නැවැත්වීමට ද උපදෙස් දී තිබුණු බව වාර්තා විය. 

ඉන්දියාවේ ආසාදිතයන් වැඩියෙන් වාර්තා වන නවදිල්ලි අගනුවරට ඇඳිරි නීතිය පනවා තිබුණි. පාකිස්තානයේ ද නව අවුරුදු සැණකෙළි සහ සැමරුම් නවතා දමා තිබුණි.
රුසියාවේ ද කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සීමා කර තිබුණු අතර ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට මොස්කව් අගනුවරට හමුදාව යොදවා තිබුණි. 
මොස්කව් නුවර ආරක්ෂාව තර කර තිබුණු අයුරු

සුපුරුදු පරිදි ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ල අලංකාර මල්වෙඩි සංදර්ශනවලින් අලංකාර විය.
බර්ජ් කලීෆා කුලුන වර්ණවත් වෙමින්...

ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය ආදී යුරෝපා නව වසර පිළිගත්තේ උත්සවශ්‍රීයෙන් නොවෙයි. ලන්ඩන් පාලම කේන්ද්‍රකොට ගනිමින් අලංකාර රේසර් ආලෝක සැණකෙළියක් පැවැත්විණි. 

ප්‍රංශයේ අයිෆල් කුලුන අලංකාර අයුරිනි විදුලි බුබුළුවලින් ආලෝකවත් වී තිබුණු නමුත්, නව වසර උදාවෙද්දී, එය සැමරීමට, පැරිස් වීදි ජනතාවගෙන් පිරී තිබුණේ නැත. ප්‍රංශය මේ වනවිට ලොක්ඩවුන් කර තිබේ. පැරිස් නුවර පුරා පොලිස් මුරකාවල් දකින්න ලැබුණු අතර, ජනතාවට වීදි බැසීමට ඉඩක් නොලැබුණි.
අයිෆල් කුලුනේ විදුලි බුබුළු දල්වා තිබූ අයුරු
පැරිස් අගනුවර ආරක්ෂාව තර කර තිබුණි

අවසන් වරට නව වසර උදා වූයේ ඇමෙරිකානු කලාපයටය. 

මේ වනවිටත් ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේත් මරණ වාර්තා වන්නේත් ඇමෙරිකාවෙනි. 

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වැසියන්ට මෙවර උත්කර්ෂවත් අන්දමින් නව වසර සැමරීමට අවස්ථාවක් ලැබුණේ නැත. නිව්යෝක් ප්‍රාන්තයට අයත් නිව්යෝක් නුවර කොරෝනා වයිරස කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි.

(රොයිටර්, ඒ.එෆ්.පී, සහ අල් ජසීරා ඇසුරිනි)

Classified_Ad

Classified_Ad_News_Bottom