ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතට හදිසි භාවිතය සඳහා ඊයේ (31) ලැයිස්තු ගත කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීම යනු හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ඇති වූ විට නව ඖෂධ නිෂ්පාදන භාවිතය සඳහා අවසර දීම යි. 

 එවැනි හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් තුළ හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂාව, ඵලදායීත්වය හා සාර්ථකත්වය සහ ගුණාත්මකභාවය යන කොන්දේසිවල දැඩිව පිහිටා ඖෂධ, එන්නත් සහ අනෙකුත් චිකිත්සක/ප්‍රතිකාර මහජනතාවට ලැබීමට සැලැස්වීම එහි අරමුණ වේ. 

 ලෝක සෞඛ්‍ය සංවිධානය ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීමත් සමඟ ලොවපුරා රටවලට එය අනුමත කිරීමටත්, ආනයනය කිරීමටත් බෙදාහැරීමටත් අවස්ථාව සැලසෙයි.

 ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ එන්නතකට අවසර දුන් පළමු අවස්ථාව මෙය වේ. රුසියාව දෙසැම්බර් මස මුල් සතියේදී එරට වැසියන්ට එන්නත ලබාදීම ආරම්භ කළ අතර බ්‍රිතාන්‍ය දෙසැම්බර් මස 8 වැනිදා එරට වැසියන්ට එන්නත ලබාදීම ආරම්භ කළේය. 

සිය රටවැසියන්ට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම ආරම්භ කළ පළමු බටහිර රට වූයේ බ්‍රිතාන්‍ය යි. ඉන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව ද ඊට පසු යුරෝපා සංගමයේ රටවල් ද එරට වැසියන්ට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම ආරම්භ කළේය. 

 සිංගප්පූරුව දෙසැම්බර් 30 වැනිදා එරට වැසියන්ට එන්නත ලබාදීම ආරම්භ කළ අතර මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ ආසියාවේ පළමු රට බවට පත්වූයේ ද සිංගප්පූරුවයි. ගෝලීය අර්බුද රැසක් ආරම්භ කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පිළිබඳ මුල් වරට වාර්තා වූයේ 2019 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා ය. 

නිව්මෝනියා ආසාදන තත්ත්වයට සමාන ආසාදන තත්ත්වයක් වාර්තා වෙමින් තිබෙන බවත් ආසාදිත පොකුරු වාර්තා වෙමින් තිබෙන බවත් චීන රජය නිවේදනය කළේ එදින ය. 

 නව කොරෝනා වයිරසය පිළිබඳ මුලින්ම වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වන නමුත් ඊට පෙර සිට ඇමෙරිකාව, ඉතාලිය ඇතුළු කිහිපයකද වයිරසය පැතිර ගොස් තිබූ බව අනාවරණය වී තිබේ.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘ජර්මනියේ බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක්වී නිපදවූ මෙම එන්නත සියයට 95 ක් සාර්ථක බව පැවැසෙයි. එන්නත මාත්‍රා දෙකකින් සමන්විත අතර, පළමු මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රාව ලබා ගැනීම සිදුවන්නේ දින 21 කට පසුවය. 

‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වන්නේ ඒ අනුවය. පළමු එන්නත ලබා ගැනීමෙන් පසු, දෙවැනි එන්නත ලබා ගැනීමට පෙර, ඇමෙරිකන් හෙදියකට ‘කොවිඩ් 19’ ආසාදනය වූ බව මීට දින කීපයකට පෙර වාර්තා විය. 

රටවල් 55කට වැඩි සංඛ්‍යාවක ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය තවමත් වේගයෙන් පැතිරෙමින් තිබෙන බවත් ඊයේ (1) දහවල් වනවිට ගෝලීයව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 82,859,000 ක් විය. 

ලොව නන්දෙසින් ඊයේ වනවිට වාර්තා වූ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 1,808,000ක් ලෙස දැක්විණි.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom