මෙලානියාගේ සමුගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 19, 2021

මෙලානියාගේ සමුගැනීම

ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස හෙට (20) දිවුරුම් දීමට නියමිත අතර, ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරි‍‍ඳ මෙලානියා ධවල මන්දිරයට සමුදීමට නියමිතය.
 
 ජනාධිපති ට්‍රම්ප් ධුරයට සමුදෙන්නේ අකමැත්තෙනි. ඒ, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ඔහු තවමත් ප්‍රතික්ෂේප කරන බැවිනි. 

 කෙසේ නමුත් ට්‍රම්ප් බිරිඳ මෙන්ම ඇමෙරිකා ජනපති ආර්යාව ලෙස ද මෙලානියා ධවල මන්දිරයෙන් සමුගැනීම නිමිත්තෙන් නිල වීඩියෝ පණිවුඩයක් නිකුත් කළාය.  ‍

ඇමෙරිකන් ජනපති ආර්යාව ලෙස තමන් ධවල මන්දිරයේ සිටි සිවු වසරක කාලය තම ජීවිතේ ලැබුණු ලොකුම ගෞරවය යැයි මෙලානියා එම වීඩියෝ පණිවුඩය හරහා කායි සිටියාය.
ඩොනල්ඩ් සහ තමන් ධවල මන්දිරයේ ගත කළ සිවු වසරක කාලය තමන්ට කිසිදා අමතක කළ නොහැකි බව ද මෙලානියා පැහැදිලි කරන්නීය.

 ඇමෙරිකාව පුරා ඇමෙරිකානුවන්ගෙන් තමන්ට සහ පවුලේ අයට ලැබුණු කරුණාව, ආදරය සහ සෙනෙහස වෙනුවෙන් ද මෙලානියා සැමට ස්තුති කළාය.  ‍

'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඉදිරිපෙළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට ද මෙලානියා අමතක නොකළාය‍. 

රට වෙනුවෙන් කැපවුණු සොල්දාදුවන් ඇගැයීමට ලක් කළාය. දේශප්‍රේමීත්වය ගැන පැවැසුවාය.

 පසුගිය 6 වැනිදා ට්‍රම්ප්ගේ 'උසිගැන්වීමෙන්' ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රසයේ කටයුතුවලට බාධා කළහ. 

එම අවස්ථාවේදී සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා තමන් කිසිසේත් අනුමත නොකරන බවත් ඇමෙරිකානුවන් සැවොම සමඟියෙන් සිටිය යුතු බවත් මෙලනියා යළිත් වරක් අවධාරණය කළාය. 

මේ වනවිට ට්‍රම්ප්ට එ‌රෙහි දෝෂාභියෝගයක් කොංග්‍රසයට ඉදිරිපත් වී ඇත්තේ ද ට්‍රම්ප් සිය ආධාරකරුවන් මෙහෙයවා කොංග්‍රසයේ කටයුතුවලට බාධා කිරිම සහ කුමන්ත්‍රණ කිරීම ආදී චෝදනා සම්බන්ධයෙනි. 

 ඇමෙරිකා ජනාධිපති ආර්යාව ලෙස මෙලානියා පසුගිය සිවු වසරේ සමාජ සේවා කටයුතු රැසකට සම්බන්ධ වූවාය. 'බී බෙස්ට්' වැඩසටහන ඒ අතරින් කැපී පෙනෙයි. 

'බී බෙස්ට්' වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ තරුණ වියේ දරුදැරියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත්, උසස් තත්ත්වයට පත් කිරීමේත් අරමුණින්ය. 

 හිත් අමනාපයෙන් ධුරයෙන් සමුගන්නා බැවින්, ජනපති ට්‍රම්ප් බයිඩන්ගේ දිවුරුම් දීමට සහභාගී වන්නේ නැත. එය සම්ප්‍රදාය කැඩීමකි. 

සාමාන්‍යයෙන් නව ජනපති දිවුරුම් දී ධවල මන්දිරයට පැමිණෙද්දී, ධුරයෙන් සමුගන්නා ජනපති සහ ආර්යාව ඔවුන් පිළිගැනීමට තේ පැන් සංග්‍රහයක් පවත්වයි. එහෙත් එවැන්නක් ද සිදු නොවේ. සම්ප්‍රදායිකව, නව ජනපති ආර්යාවට ධවල මන්දිරය බාරදීමක් ද සිදුවෙයි‍. 

හෙට (20) ජනපති ධුරයේ දිවුරුම් දී ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් එහි පැමිණෙද්දී, ඔවුන් පිළිගැනීමට, තේපැන් සංග්‍රහ පැවැත්වීමට හෝ ධවල මන්දිරය ජිල් බයිඩන්ට බාරදීම හෝ සිදු කිරීමට මෙලානියා එහි රැදී නොසිටිනු ඇත. 

ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom