එන්නත එපා කියමින් විරෝධතා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 21, 2021

එන්නත එපා කියමින් විරෝධතා

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ‘එපා’ කියමින්, ඊට විරෝධය දක්වමින්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ද පැවැත්වෙයි. 

එන්නත හෙට (22) සිට ඕස්ට්‍රේලියානු වැසියන්ට ලබා දීම ආරම්භ වනු ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකයන්ට පළමුවෙන් එන්නත ලැබෙන බව රජය පවසා තිබේ. 

ප්‍රතිශක්තිකරණ එන්නත් අනාරක්ෂිත බවත්, එන්නත්කරණ වැඩසටහන ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් බවත් පෙන්වා දෙමින් විරෝධතා පැවැත්වූයේ සිඩ්නි, බ්‍රිස්බේන් සහ කැන්බරා යන නගරවලය. 

 එන්නත ලබා ගන්නැයි කිසිවකුටවත් බල කළ නොහැකි බවත්, කැමැති අයට පමණක් එය ලබා ගැනීමට ඉඩ දිය යුතු බවත් විරෝධතාවලට එක්වුණු ඕස්ට්‍රේලියානුවෝ හඬ නගන්න වූහ. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර, කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ආයතනය සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ආයතනය එක් වී නිපදවූ ‘ෆයිසර්’ එන්නතය. 

මෙතෙක් නිපදවා ඇති එන්නත් අතරින් වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පැවැසෙන්නේ මෙම ‘ෆයිසර්’ එන්නතය. 

මීට අමතරව ලබන මාර්තු මාසයේ සිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ද ඕස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් ඇණවුම් කර තිබෙන බව ඕස්ටේ්‍රලියා රජය පවසා තිබේ. 

‘කොවිඩ් 19’ ගෝලීය වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිව එන්නත් නිපදවීම සිදුවූයේ ඉතා කඩිනමිනි. ඒ, වයිරසය හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කර ගැනීමටය. සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා එය ආරක්ෂිතදැයි අත්හදා බලා වෙළෙඳපොළට නිකුත් කිරීමට නම් වසර 15 ක් හෝ 20 ක් පමණ ගතවන බව පැවැසෙයි. 

වසරක් ගතවීමටත් පෙර නිපවූ එන්නත් සම්බන්ධයෙන් ලෝකයේ රටවල් බොහොමයක වැසියන් තුළ අනියත බියක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. 

ඊට අමතරව, එන්නත් ලබා ගත් ඇතැමුන් සංකූලතා පෙන්නුම් කිරීම සහ මරණයට පත්වීම පිළිබඳව ද නන්දෙසින් වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියානුවන් බියට පත් වී ඇත්තේ මේ නිසා යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

‘කොවිඩ් 19’ මර්දනයට නිපදවා ඇති සෑම එන්නතක්ම මාත්‍රා දෙකකින් සමන්විත වන අතර නියමිත සති ගණනට පසු දෙවැනි මාත්‍රාව ලබාගෙන සති කීපයක් යද්දී, සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom