බල්ලන්ට බළලුන්ට PCR - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

බල්ලන්ට බළලුන්ට PCR

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සෙවීමට දකුණු කොරියාවේ සෝල් අගනුවර බල්ලන් සහ බළලුන් නොකඩවා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන බව නගර බලධාරීහු පෙන්වා දෙති.

සෝල් බලධාරීන් නිවෙස්වල ඇති කරන බල්ලන් සහ බළලුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීම ආරම්භ කෙරුණේ පසුගිය සති අන්තයේදීය. ඒ, නගරයේ ස්ථාන කීපයක නිවෙස්වලින් ‘කොවිඩ් 19’ ආසාදිත බළලුන් කීප දෙනකු හමුවීම නිසාය. 

සුරතල් සතුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම නගරසභා බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුවන බවත් සෝල් පශු වෛද්‍යවරුන්ගේ සංගමය ද ඊට සම්බන්ධ බවත් පැවැසෙයි. 

මනුෂ්‍යයන් හරහා සුරතල් සතුන්ට වයිරසය ආසාදනය වී, යළි සුරතල් සතුන් හරහා වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වීමේ අවදානමක් පවතී. එසේ ආසාදනය වන වයිරසය විකෘති විය හැකි යැයි ද බියක් පවතී. 

සුරතල් සතුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ එහෙයිනි. කෙසේ නමුත් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන්නේ රෝගී තත්ත්වයෙන් පසුවන බලලුන් සහ බල්ලන් පමණක් බව ද නගර බලධාරීහු පවසති. 

 වෛද්‍ය පරීක්ෂණවලින්, ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි හඳුනා ගන්නා සතුන්, නිවෙස් තුළ නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවත්, සුරතල් සතුන්ගේ හිමිකරුවන් ආසාදිතයන් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නම්, එම ආසාදිත සතුන් විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට පියවර ගන්නා බවත් පැවැසෙයි. 

ක්ෂීරපායී සතුන් ‘කොවිඩ් 19’ වයිරස ආසාදනය වීම සම්බන්ධයෙන් ලොව නන්දෙසින් වාර්තා වේ. සුරතල් සතුන්ට අමතරව සත්වෝද්‍යානවල කූඩු කළ සතුන් ද වයිරස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. 

පසුගිය මාසයේ ඇමෙරිකාවේ සැන් ඩියේගෝ සත්වෝද්‍යානයේ ගොරිල්ලන් දෙදෙනකුට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය විය. ඒ, ඔවුන් බලා ගන්නා සත්වොද්‍යාන සේවකයාගෙනි. ගෝරිල්ලන් අයත් වන්නේ වානර පවුලට වන අතර, වානරයන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. 

ඊට පෙර නිව්යෝක් බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිංහයන් සහ ව්‍යාඝ්‍රයන් ද ඉන්පසු ස්පාඤ්ඤයේ බාර්සෙලෝනා සත්වෝද්‍යානයේ සිංහයන් ද ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලෙස හඳුනා ගත් බව වාර්තා විය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom