ආර්ථිකය පෞද්ගලික අංශයට විවෘතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 7, 2021

ආර්ථිකය පෞද්ගලික අංශයට විවෘතයි

සිය ආර්ථිකයේ අංශ රැසක් පෞද්ගලික අංශයට විවෘත කරන බව ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් කියුබාව ඊයේ (6) නිවේදනය කළේය. 

කියුබානු ආර්ථිකය එරට රජය මඟින් පාලනය වන අතර එහි ආර්ථික ක්‍රියාකාරකම් රැසක් පාලනය කෙරෙන්නේ රජයට අයත් සමාගම් මගිනි. මෙම නව ප්‍රතිසංස්කරණ මඟින් පෞද්ගලික අංශයට කියුබානු ආර්ථිකයේ අංශ රැසකට දොර විවෘත වනු ඇත. 

මෙම ප්‍රතිසංස්කරණ මුලින්ම හඳුන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී වන අතර ඒවා හඳුන්වා දී ඇත්තේ එරට කම්කරු අමාත්‍ය මර්තා එලීනා ෆෙයිටෝ ය. 

එම ප්‍රතිසංස්කරණවලට අමාත්‍යවරුන්ගේ මණ්ඩලය අනුමැතිය හිමි වී ඇත්තේ පසුගිය සිකුරාදා බව කියුබාවේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ග්‍රැන්මා’ පුවත්පත වාර්තා කර තිබිණි. 

කියුබාව 2010 වසරේ සිට සීමිත අංශ කිහිපයක් පෞද්ගලික අංශයට විවෘත කර තිබිණි. එය වඩාත් විවර වූයේ ඇමෙරිකාව සහ කියුබාව අතර සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට 2014 වසරේ දී ගත් පියවරත් සමඟ ය. 

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ දෙරට අතර වසර 60කට ආසන්න කාලයක් පැවැති එදිරිවාදීකම් පසෙකලා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට එකඟ වූහ. 

‘‘මීට පෙර ආර්ථිකයේ අංශ 127ක් පෞද්ගලික අංශයට විවෘත කර තිබුණා. එහෙත් ඒ සංඛ්‍යාව 2,000ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා. ඒ අනුව පෞද්ගලික අංශයට අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් විවෘත නොවන්නේ අංශ 127ක් පමණක්’’ යැයි කම්කරු අමාත්‍ය ෆෙයිටෝ සඳහන් කළාය. 

 සෞඛ්‍ය, ආරක්ෂාව, මාධ්‍ය සහ රාජ්‍යයට උපායමාර්ගික වැදගත් යැයි සැලකෙන අංශ පමණක් මෙලෙස පෞද්ගලික අංශයට විවෘත නොවන බව පැවසේ. කියුබාවේ ජනගහනය මිලියන 11.2ක් වේ. එරට ශ්‍රම බලකායෙන් 600,000 වැඩි පිරිසක් පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වෙති. 

එය එරට ශ්‍රම බලකායෙන් සියයට 13කට ආසන්න අගයකි. ඔවුන්ගෙන් වැඩිදෙනා ආහාර, ප්‍රවාහන සහ සංචාරකයන් නවාතැන් පහසුකම් සැලසීම යන ක්ෂේත්‍රවලට සම්බන්ධ රැකියාවල නිරත වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ බලයට පත්වීමත් සමඟ කියුබාවට නැවත වරක් සම්බාධක පැනවීය. 

එම සම්බාධක සහ ‘කොවිඩ්-19’ වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් කියුබානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය. මෙම නව ප්‍රතිසංස්කරණ රටේ රැකියා වැඩි කිරීමට හේතුවනු ඇතැයි කියුබානු ආර්ථික අමාත්‍ය අලෙහන්ද්‍රෝ ගිල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. 

‘‘මේක හොඳ ප්‍රවෘත්තියක්. අපි නිවැරැදි මාර්ගයට පියවර තබා තිබෙනවා. අවාසනාවකට මේක කරන්න බොහෝ කාලයක් ගතවුණා’’ යැයි හවානා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයකු වන රිකාඩෝ ටොරස් පැවැසීය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom