වයිරසයේ සුලමුල අබිරහසක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 10, 2021

වයිරසයේ සුලමුල අබිරහසක්

අප කාටත් හිසරදයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, ගෝලීය වසංගතයක් බවට පත් වූයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වෙමිනි. කොරෝනා වයිරස පවුලට අයත් නව වයිරසයක් ලෙස තහවුරු වුවත්, වයිරසයේ සුලමුල අබිරහසක් විය. එම අබිරහස විසඳීමේ අරමුණින්, ලෝක සෞඛ්‍ය සංවිධානය, රටවල් නවයක විශේෂඥයන් 14 දෙනකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායමක් වූහාන් බලා යැවීය. ඒ පසුගිය ජනවාරියේය. එම විමර්ශන කණ්ඩායම මේ වනවිට විමර්ශන කටයුතු අවසන් කර තිබේ. සොයාගත් කරුණු කාරණා ඇතුළත් කරමින් ඔවුන් අවසන් වාර්තාවක් ද සකසා ඇත. එම අවසන් වාර්තාව මාධ්‍ය හමුවට ඉදිරිපත් කෙරුණි. එම අවසන් වාර්තාව සම්බන්ධයෙන් සතුටු විය නොහැකිය. වාර්තාවට අනුව, වයිරසයේ සුලමුල සම්බන්ධ ‘අබිරහස’, අබිරහසක් ලෙස අවසන් වී තිබේ. 

‘කොවිඩ් 19’ වයිරස වසංගතයේ ආරම්භය සිදුවූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. පළමුවෙන් ආසාදිතයන් හමුවීම සිදුවූයේ, වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි. 2019 දෙසැම්බර් මස අවසන් වෙද්දී, වූහාන් නුවර රෝහල්, ආසාදිතයන්ගෙන් පිරෙන්න වූ අතර, නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මළමිනී ගොඩ ගැසෙද්දී වූහාන් නුවර සෞඛ්‍ය පද්ධතිය අඩපණ විය. 

නව වයිරසය ‘සාර්ස්’ වයිරසයට සමාන බව තහවුරු කර ගැනීමට චීන සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ ‘සර්ස්’ යනු කොරෝනා වයිරස පවුලට අයත් වයිරසයකි. ‘සර්ස්’ චීනයෙන් ආරම්භ වී ආසියා රටවල් කීපයක වසංගත තත්ත්වයක් නිර්මාණය කළේ 2002 සිට 2004 දක්වා කාලයේය. ‘සර්ස්’ වයිරසය වවුලන්, උරුලෑවන් හරහා මනුෂ්‍යයන්ට ආසාදනය වී, පසුව මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වූ බව තහවුරු කරගෙන තිබේ. ඒ අනුව වූහාන් නුවරින් හිස ඔසවන්න වූ වයිරසය කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා බව සැක හැර දැන ගත්තේය. 

කොරෝනා යනු සතුන් අතරේ පැතිර යමින්, මනුෂ්‍යයන්ට ආසාදනය වන වයිරස විශේෂයකි. මෙම පවුලට අයත් වයිරස සිය ගණනකි. හඳුනා නොගත් වයිරස ගණන ඊටත් වැඩිය. ‘සර්ස්’ පමණක් නොව 2012 වසරේදීත් ඉන්පසු 2015 වසරේදීත් මැදපෙරදිග කලාපයේ පැතිරෙන්න වූ ‘මර්ස්’ වයිරසය ද කොරෝනා වයිරස පවුලට අයත්ය. ‘මර්ස්’ මනුෂ්‍යයන් අතරේ පැතිරෙන්න වූයේ ඔටුවන්ගෙනි. 

 චීන සෞඛ්‍ය බලධාරීන් සහ රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට නව වයිරසය ගැන දැනුම් දුන්නේ 2019 ජනවාරියේය. චීනය වයිරසයේ සැබෑ තතු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වසං කළේ යැයි ද චෝදනා එල්ල වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර, චීන සෞඛ්‍ය අංශ සහ රජය ලබා දුන් තොරතුරු අනුව පමණක් තීන්දු තීරණ ගත්තේය. වූහාන් නුවර ඔඩුදුවන්න වූ වයිරසය, පසුව චීනයේ පළාත් රැසකට ව්‍යාප්ත විය. 

වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බට පත්වන ලකුණු පෙන්නුම් කරද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගැබ්රියේසිස් චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් සහ සෞඛ්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා, ලොවට කියා සිටියේ වයිරසය ගැන බියක් ඇති කර ගැනීමට හෝ ඒ ගැන කලබල වීමට හෝ අවශ්‍ය නොවන බවය. 

 වූහාන් සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළට සැතපුම් 20 ක් දුරින් පිහිටා ඇත්තේ චීන රජයට අයත් වයිරස රසායනාගාරයයි. ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස මෙය සැලකෙයි. මෙහි ‘කොරෝනා’ වයිරස පවුලට අයත් හඳුනාගත් මෙන්ම හඳුනා නොගත් වයිරස ද ගබඩා කර තිබේ. 

වයිරස ගබඩා කර ඇත්තේ විද්‍යාඥයන් ට ඒවා අධ්‍යයනය කිරීමට සිදුවන බැවිනි. ඔවුන් වයිරස විකෘති කරමින් අත්හදා බැලීම් ද සිදු කරයි. එසේ අත්හදා බැලීම් සිදු කරන්නේ වයිරස යොදා ගනිමින් ජීව අවි නිපදවීමටය. 

අසුරු සැණින් සතුරන් අඩපණ කිරීමට, ලෝකය අඩපණ කිරීමට මෙවැනි ජීව අවියකට හැකියාව පවතී. ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය ජීව අවියක් යැයි කිසිවකු පවසන්නේ නැත.  එහෙත්, ‘කොවිඩ් 19’ වයිරසයෙන් මේ වනවිට සිදුවී ඇති බලපෑම ජීව අවියකින් එල්ල වූ ප්‍රහාරයකට දෙවැනි නොවෙයි. 

චීන රජය සහ එරට හමුදාව සහතික වී ඇත්තේ වූහාන් රසායනාගාරය තුළ එවැනි ජීව අවි නිපදවීමක් සිදු නොවන බවය. කෙසේ නමුත්, චීන රජයට අයත්, මෙම වයිරස බැංකුව, ‘කොවිඩ් 19’ ලෙස අප අද හඳුන්වන මෙම කොරෝනා වයිරසය නිපදවන්න ඇති බවත්, හිතාමතා නොව අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ ව්‍යාප්ත වී පසුව චීනය සහ ලොව පුරා පැතිරෙන්න ඇතැයි ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ චෝදනා කර තිබේ. 

‘ඒක හිතාමතා කළ දෙයක් වෙන්න බැහැ. ඒත් චීනය වූහාන් රසායනාගාරයෙන් සිදුවුණු කාන්දුවක් වෙන්න පුළුවන්. එසේ නම්, චීනය ඒ ගැන වගකීම ගන්න ඕනෑ. වයිරසයෙන් සිදුවුණු බලපෑම සම්බන්ධයෙන් චීනය වන්දි ගෙවන්න ඕනෑ’ යැයි ජනාධිපති ලෙස කටයුතු කරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් වරක් පැවැසුවේය. 

‘කොවිඩ් 19’ වයිරසය චීනයෙන් හිස ඔසවද්දී, ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කළේ ට්‍රම්ප්ය. එම අවස්ථාවේ ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් පැවැතිණි. එම යුද්ධය තවමත් අවසන් වී නැත. ‘කොවිඩ් 19’ වයිරසය ගෝලීය ව්‍යාප්තියක් තෙක් දුර දිග යෑමට ගතවූයේ කෙටි කාලයකි. චීනයෙන් පිට පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයා වාර්තා වූයේ තායිලන්තයෙනි. 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගැබ්රියේසිස්

වයිරසයේ දරුණු ස්වභාවය ලොවට හෙලි කිරීම සහ වසංගත තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීම විය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් තීරණ ගත්තේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂව චීනයේ ආර්ථිකයට බලපෑමක් නොවන ආකාරයට තීන්දු තීරණ ගත් හෙයින්, වයිරසය ගෝලීය වසංගතයත් තෙක් දුරදිග ගියේ යැයි පළමුවෙන් චෝදනා කරන්න වූයේ ද ජනාධිපති ට්‍රම්ප්ය. ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීම ද සිදුවිය. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් ආධාර වහා අත්හිටුවූයේ ද මේ නිසාය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ට්‍රම්ප් අවධාරණය කරන්න විය. ඇමෙරිකාව ‘කොවිඩ් 19’ වයිරසයේ කේන්ද්‍රස්ථානය වෙද්දී, ජනපති ට්‍රම්ප්, ‘කොවිඩ් 19’ වයිරසය ‘චීන වයිරසය’ ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. 

ට්‍රම්ප් වයිරසය පිළිබඳ තැකීමක් නොකළේ එය චීනයෙන් ආ එකක් බව පෙන්වා දෙමිනි. ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ වයිරසයේ ආරම්භය සිදුවූයේ වූහාන් වයිරස රසායනාගාරයෙන් යැයි එල්ල කළ චෝදනා මුල්කොට ගනිමින්, චීනය සහ ඇමෙරිකාව අතර අර්බුදය තවත් උත්සන්න විය. චීනය සහ ඕස්ට්‍රේලියාව අතර නව අර්බුදයක් නිර්මාණය විය. 

මැතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප් අකමැත්තෙන් වුවත් ධුරයෙන් සමුගත්තේය. නව ජනාධිපති ලෙස ධුරයට පත් වූයේ ජෝ බයිඩන්ය. ධුරයේ දිවුරුම් දුන් සැණින්, බයිඩන් කළේ ඇමෙරිකාව යළි ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් කිරීමය. සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විත ජගත් විමර්ශන කණ්ඩායමට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ජපානය, මහා බ්‍රිතාන්‍යය, රුසියාව, නෙදර්ලන්තය, කටාරය සහ වියට්නාමය නියෝජනය කරමින් විශේෂඥයන් එක් වී සිටිති. වයිරසවේදීන්, වෛද්‍යවරුන්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයන්, සත්ව විද්‍යාඥයන් කණ්ඩායමට ඇතුළත්ය. කණ්ඩායමට නායකයා ආචාර්ය පීටර් බෙන් එම්බර්ක්ය. 
ආචාර්ය පීටර් බෙන් එම්බර්ක්

කණ්ඩායම චීනයට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේ පසුගිය 2021 දෙසැම්බරයේය. ඒ, වයිරසය ආරම්භ වී වසරක් ගත වෙද්දී, වූහාන් නුවරින් කිසිදු ආසාදිතයකු වාර්තා නොවීමත් සමඟය. මුලදී අදිමදි කළත්, වාද විවාද රැසකින් සහ ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම එල්ල වුණු පීඩනය මැද චීන රජය විමර්ශන කණ්ඩායමට අවසර දුන්නේය. 

ආරම්භයේ දී කණ්ඩායටමට සාමාජිකයෝ 16 දෙනෙක් එක් වී සිටියහ. මොවුන් චීනය බලා පැමිණීමට සූදානම් වූයේ සිංගප්පූරුව හරහාය. සිංගප්පූරුවේ දී පී.සී.ආර්. සහ ප්‍රතිදේහ පරීක්ෂණවලට යොමු වූ අවස්ථාවේ 16 දෙනාගෙන් දෙදෙනකු ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව තහවුරු විය. ඒ අනුව, ඔවුන් නිරෝධායනයට යැනුණු අතර සෙසු පිරිස මධ්‍යම චීනය බලා පැමිණියහ. 

හුබෙයි පළාත ඇත්තේ මධ්‍යම චීනයේය. චීන සෞඛ්‍ය අංශ එරටට පැමිණෙන සියලු විදේශිකයන් දින 14 කට නිරෝධායනය කරයි. ජගත් විමර්ශන කණ්ඩායමට ද විශේෂයක් නොකෙරුණි. ජනවාරි 14 වැනිදා හුබෙයි නුවරට පැමිණි 14 දෙනාගේ කණ්ඩායම දින 14 ක් නිරෝධායනයේ රැඳවිණි.

නිරෝධායනය අවසන් විය. විමර්ශන කණ්ඩායමේ සාමාජිකයෝ වූහාන් වයිරස රසායනාගාරයේත්, පසුව සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළෙත් සංචාරය කළ අතර, පුළුල් විමර්ශනයක් පැවැත් වූහ. වූහාන් රෝහල්වලට ගොස් වසංගතයට මුහුණ දුන් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හමුවී ඔවුන්ගෙන් ප්‍රශ්න කළහ. විමර්ශන කණ්ඩායම පවසන පරිදි, ඔවුන්ට චීන රජයෙන් කිසිදු බාධාවක් සිදු නොවිණි. කණ්ඩායමේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණි. 
ඊයේ (9) වැනිදා සවස් වනවිට විමර්ශන කටයුතු අවසන් විය. ‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ කෙසේද? වූහාන් වයිරස රසායනාගාරයේ සම්බන්ධයක් ඊට තිබේද? වයිරසය ගෝලීය වසංගතයක් වීම සම්බන්ධයෙන් චීනය වගකිවයුතුද? චීනයට දඬුවම් කළ යුතුද? යන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කෙරුණි. අද (10) වැනිදා ප්‍රශ්නවලට පිළිතුරු වෙනුවට ලැබුණේ තවත් ප්‍රශ්න පමණි. 

ජගත් විමර්ශන කණ්ඩායම චීනයට පක්ෂව කටයුතු කර ඇතැයි ද චෝදනා එල්ල විය. විමර්ශන කණ්ඩායම නිකුත් කළ අවසන් වාර්තාවට අනුව, වයිරසයේ ආරම්භය තහවුරු කර ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකියාවක් ලැබී නැත. එය වවුලන් සහ අතරමැදි සත්වයකුගෙන් මනුෂ්‍යයන්ට පැතිරෙන්න ඇතැයි යන සැකය සැකයක් පමණක් විය. එම ‘අතරමැදියා’ කබල්ලෑවා යැයි අනුමාන කළත් එය අනුමානයක් පමණක් විය. වයිරස රසායනාගාරයෙන් වයිරසය කාන්දුවීමක් සිදුවුණැයි යන්න සැක සහිත යැයි විමර්ශන කණ්ඩායම පෙන්වා දුන්නේය. 

චීන බලධාරීන් මෙන්ම ජගත් විමර්ශන කණ්ඩායම ද සැක කර ඇත්තේ වූහාන් සත්ව සහ මත්ස්‍ය ආහාර වෙළෙඳපොළ හරහා වයිරසය පැතිරෙන්න ඇති බවය. වයිරසය වෙනත් ආසියානු රටකින්, ශීත කරමින් ගෙන්වන ලද සත්ව ආහාර හරහා වූහාන් නගරයට පැමිණෙන්න ඇතැයි ද විමර්ශන කණ්ඩායම සැක කරයි. සිදු කළ විමර්ශන ප්‍රමාණවත් නොවන බවත්, වැඩිදුර විමර්ශන අවශ්‍ය බවත් විමර්ශන කණ්ඩායමේ අවසන් නිර්දේශය විය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom