
රට තුළ භාෂණයේ නිදහස තහවුරු කරන්නැයි යුරෝපා සංගමය චීනයට පවසා තිබේ.
තර්ජන හා බාධා එල්ල වූ බැවින් චීනයේ සිට තායිවානයට ගිය බව එරට සිටි බී.බී.සී. පුවත් සේවයේ මාධ්‍යවේදියකු පැවැසීමත් සමඟ යුරෝපා සංගමය එලෙස චීනයෙන් ඉල්ලීය.
තමන් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ තායිවානයට පැමිණි බව බී.බී.සී. පුවත් සේවයේ මාධ්‍යවේදියකු වන ජෝන් සඩ්වර්ත් බී.බී.සී. ගුවන් විදුලි සේවයට පැවැසීය.
කෙසේ නමුත් කිසිදු තර්ජනයක් නොකළ බව චීනය පවසයි.
චීනයේ සිටින විදෙස් මාධ්‍යවේදීන්ට තර්ජන හා රැකියාවට බාධා එල්ල වූ බව පසුගිය කාලයේ දී දිගින් දිගටම වාර්තා විය.
එලෙස මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා එල්ල වූ අලුත් සිදුවීම මෙය යැයි යුරෝපා සංගමට පවසයි.
පසුගිය වසරේ දී පමණක් චීනයෙන් ගිය හෝ චීන බලධාරීන් එරටින් නෙරපා දැමූ විදෙස් මාධ්‍යවේදීන්ගේ ගණන 18කි.
චීන බලධාරීන්ගෙන් ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙන්ම විදෙස් ජනමාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවන බවත් ඔවුන්ගේ රාජකාරීවලට බාධා එල්ල වන බව වාර්තා වන බවත් යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.
“විදෙස් වාර්තාකරුවන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ භාවිතාව දිගින් දිගටම ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා. යුරෝපා සංගමය සහ චීනය අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමට විදෙස් වාර්තාකරුවන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම චීනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පුවත් ජාත්‍යන්තරයට ගෙන ඒමට විදෙස් වාර්තාකරුවන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා” යැයි යුරෝපා සංගමයේ විදෙස් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ජෝසප් බොරෙල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“මේ නිසා රටේ ජාතික නීතිවලටත් ජාත්‍යන්තර නීතිවලටත් අනුව භාෂාණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන්නැයි යුරෝපා සංගමය චීනයෙන් ඉල්ලා සිටිනවා. චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනයේ ද ඒ බව සඳහන් වී තිබෙනවා” යැයි එහි දැක්විණි.
රොයිටර්