මහ සයුර මැද විරාජමාන හැමන්හීල් බලකොටුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 12, 2021

මහ සයුර මැද විරාජමාන හැමන්හීල් බලකොටුව

හැමන්හීල් Hammenhiel බලකොටුව, යාපන අර්ධද්වීපයේ කරෙයිනගර් හි 7Km ට ආසන්න දුරකින් පිහිටා ඇත. දැනට මෙම බලකොටුව ශ්‍රි ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවතින අතර නැරඹීම සඳහා මහජනතාවට විවෘතව පවතී. 

මෑත කාලීනව මෙම බලකොටුව සංචාරක හෝටලයක් ලෙස වැඩි දියුණු කොට දෙස් විදෙස් සංචාරකයන්ගේ ගිමන් නිවන තොටුපොලක් බවට පත් කර ඇත. 

මෙහි ඉතිහාසය 17 වන සියවස තෙක් ඈතට දිවෙන අතර අදටත් මෙම බලකොටුවට පිවිසෙන ඔබට එහි පැවති ප්‍රෞඩත්වය හා ආරක්ෂාව ගැන මොනවට සාක්ෂි සපයයි.

ෆොටලේසා රීල් නැතහොත් රාජකීය බලකොටුව ලෙස මුලින් හැඳින්වූ මෙම බල කොටුව 1618 පෘතුගීසි ආණ්ඩුකාර ඇන්ටෝනියෝ ඩි අමරල් ඩි මෙනෙස් විසින් යාපනය අර්ධද්වීපයට පිවිසෙන දොරටුව ආරක්ෂා කිරීම අරමුණු කර ඉදි කරනු ලැබූවකි.

1658 දී කපිතාන් කෝර්නලීස් රෙබ්, පීස්ටර් වසෙට් සහ එන්. වැන් ඩර් රීඩ්ගේ අණ යටතේ ලන්දේසීන් බලකොටුව අල්ලා ගත් අතර, පසුව එය හැමන්හීල් 'නොහොත්හැම්ගේ විලුඹ' ලෙස නම් කරන ලදී.
1680 දී ලන්දේසීන් විසින් බලකොටුව නැවත ගොඩ නගනු ලැබීමෙන් අනතුරුව සිරගෙවල් නවයක් සහිතව වෙඩි බෙහෙත් ගබඩා කිරීම සඳහා බන්ධනාගාරයක් ලෙස භාවිතයට ගැණින. 

බ්‍රිතාන්‍යයන් බලකොටුව මුලින්ම භාවිතා කළේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙසත් පසුව බෝවන රෝගීන් රඳවන රෝහලක් ලෙසත් ය.
පසු කාලීනව, එනම් 1971 වර්ෂයේ ඇතිවූ ජේ.වී.පී. කැරැලිවලදී රෝහණ විජේවීර ඇතුලු සිරකරුවන් රඳවා තැබීමට භාවිතා කළ බවට ඉතිහාසයේ සඳහන් වෙයි. 
මෙම බලකොටුව නැරඹීමට පැමිණෙන ඔබව, ශ්‍රී ලංකා නාවික හමුදා සොයුරන් විසින්, ඔවුන්ගේ සුහඳ පිලිගැනීමෙන්ද සුරක්ෂිත රැකවරණයෙන්ද යුක්තව, හැමන්හීල් බලකොටුව වෙත රැගෙන යනු ලබයි. 

එහිදී ඔබට යාපන අර්ධද්වීපයට අයත් මුහුදු කලාපයේ ඇති දූපත් දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙයි. 
ඉන් අනතුරුව, බලකොටුව තුළට පිවිසෙන ඔබට, එහි ඉතිහාසය පිළිබඳව දීර්ඝ විස්තර විචාරයකින් ඔබේ දැනුම් ගබඩාව පෝෂණය කර ගැනීමට ද අවස්ථාවක් උදාවෙයි.

අදටත් මහ සයුර මැද වැජබෙන හැමන්හීල් බලකොටුව සොඳුරු තැන් සොයා යන සංචාරකයන්ගේ ගමන් පිපාසාව සන්සිඳවාලන තවත් එක ගමනාන්තයක් වනු නොඅනුමානය. 

     සටහන සහ සේයා රූ 
 ෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom