![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKkrTvQFPR0ZWZuYkgEY130VfVKsPBMEYbOkaM7UjdWzXz6PZ7mY2gD4oMUTvUSDMJiZ_tE6DL-leEG6r8xqEftv6bav0eHdtHO069mSBy6UBSqRVDHKQDhUKBmSwXYel0ZcfaLA0LgGPP/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002427840.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNxZ4tOMlTfHon6Qflw5u9MSeYjhrLl7noRCnvoak1wRmDIc8B90g027JXlbBn3JZcZ1hfMqS8IqPc23Z2R0IDhizV_L0zyOQnsI1njNlDfFau-imiTM25XUWRnssDv10ovLlci_kF8AXr/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002436480.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh4rDqNJF6zUpeNaiNaM_eGNl-EeMIyKEw3tGgyR4ZseU0c0XRAbg9EnQ9d3BCIhXEruoOZ_jg2z_lfUOj7He1AVb_VA2PCZngh0xuZHNsgDa5dZp34gA61trIuJ-OjcltApRINmErt_PD/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002446000.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhw8-I_b3nej-9v8QHQQ8JD4s-twtg9-dhppFXJcPYwIk6AhV1Nb4eey86rxg1cAhcGll6xgagiMW27UVg-MvJcIp-JxC13w0r7T43uH0gHwrNUz_NXIiI5A9zLuvuUAyF0-WP06Gp8d3-6/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002469440.jpg)
කැමරා තාක්ෂණය
හිම දිවියා වදවීමේ තර්ජනය ලක්වුණු ඉතාමක් කලාතුරකින් දකින්න ලැබෙන මහ බළලෙකි. මහ බළලුන් ලෙස සැලකෙන්නේ බිළාල පවුලේ සාමාජිකයන් වන සිංහයන්, ව්‍යාඝ්‍රයන් ආදියයි. දුර්ලභ සතකු නිසා සත්ව විද්‍යාඥයන්ට හිම දිවියන්ගේ ජීවන රටාව අබිරහසකි. ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ප්‍රමුඛ බී.බී.සී. ප්ලැනට් අර්ත් කණ්ඩායමට, හිමාල අඩවියේ ජීවත් වන හිම දිවි ධේනුවක සහ ඇගේ තරුණ පැටවකු ගැන තොරතුරු අපූරු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. අපූරු දසුන් රූගත කිරීමට හැකිවිය. ඒ, මාස ගණනාවක් ඉවසිල්ලේ සැඟවී සිටිමින් සහ චලන සංවේදක අනුව ක්‍රියාත්මක වන අති පැහැදිලි දසුන් පටිගත වන කැමරා ආධාරයෙනි. මෙම කැමරා කඳුකරයේ ගල් පර්වත සහ ගල් දෙබොක්කා අතර තැනින් තැන අටවා සඟවා තිබුණි. හිම දිවියන් පමණක් නොව වෙනත් කුමන හෝ සතකු කැමරා අසලට පැමිණෙද්දී, කැමරා අසුරු සැණින් ක්‍රියාත්මක වී, පෙනෙන දසුන් සියල්ල පරිගත කිරිම සිදු කරනු ලබයි. අබිරහසක් වූ හිම දිවියන්ගේ ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට මෙම නව තාක්ෂණය පිහිට වුණු බව ශ්‍රීමත් වේඩිඩ් ඇටන්බරෝ පෙන්වා දෙයි.
පණිවුඩ
හිම දිවියන් කොතරම් දුලබ සත්ව විශේෂයක් ද කීවොත්, සැතපුම් 40 ක භූමි ප්‍රදේශයක, හිම දිවියන් සිටින්නේ සිවු දෙනකු පමණක් යැයි පැවැසෙයි. ඊට හේතුවක් වී ඇත්තේ හිම දිවියන්ගේ අඩවියේ, ඔවුන්ට ගොදුරු ලෙස අල්ලා ගැනීමට සිටින්නේ සතුන් කිහිප දෙනකු වීමය. හිමි දිවියන් ගත කරන්නේ හුදෙකලා ජීවිතය. එසේ වුවත්, අඩවියේ තැනින් තැන වෙසෙන අසල්වැසි හිම දිවියන් එකිනෙකාගේ ගමන් බිමන්, සිටින තැන සහ හැසිරීම් රටා ගැන මනා අවබෝධයකින් පසුවෙයි. ඒ, හිම දිවියන්ට පමණක් ආවේණික පණිවුඩ ක්‍රමයක් භාවිතා කරමිනි. තෝරාගත් විශේෂ තැන්වල පණිවුඩ සටහන් කිරීම හිම දිවියන් විසින් සිදු කරනු ලබයි. ගල් ගොඩැලි අතරේ එක් සුවිශේෂී නෙරුමක් තෝරා ගන්නා හිම දිවියන් එතැනට ගොස් කම්මුල් ඇතිල්ලීම සිදු කරයි. එය හරියට නිවසේ සිටින බළල් සුරතලුන් පුරුපුරු ගාමින් පාදවල දැවටනෙවා සේය. ඉන්පසු එතැනට මුත්‍ර විදීමක් ද කරයි. එක් හිම දිවියකු තමන් එතැන පසුකළ ගියේ යැයි අනෙක් හිම දිවියන්ට දැනගන්න සලස්වන්නේ ඒ අනුවය. මුහුණට මුහුණ හමුනොවී තම තමන්ගේ අසල්වැසියන් සිටින තැන හිමදිවියන් මේ අයුරින් දැන ගනී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz7OMzil5lrm-2Y0ty-CCeuljqT1SV4oTzHTwJb8Cf_zHM4o2zcE9Tx40Uq2Tt8-eBAT-DTSRdbn4ZwX6iBeUGlSUs9aAxddHVskmljxVwTYY5cEagVLzk3kJGyKB59S5TXj2iKoaYvdUI/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002587360.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVTuslq0Ctq9IML0snWv0-dWgHMolkcCB3QMpSiHsSd8l_hAz28NywhfqtzZhpFNa7PyO6dC456C5vB94LQZVAhGEYoOY2geHoggkNQh5GRC0elhyphenhyphenzd5IGMK2vlNdDy7w0cb9WZaqMwS0F/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002657600.jpg)
ප්‍රචණ්ඩයි
එසේ වුවත්, හිම දිවියන් දෙදෙනකු හෝ කිහිප දෙනකු හෝ මුහුණට මුහුණ හමුවන අවස්ථා ද ඇත. එහි අවසානය බිහිසුණුය. ප්‍රචණ්ඩකාරීය. පරිණත හිමදිවිධේනුවක් සහ ඇගේ තරුණ වියට පා තැබූ දියණියක්. පසුගිය දෙවසරක කාලය පුරාවට මේ හිමදිවිධේනුව ඇගේ පැටවා ලොකු මහත් කිරීමට ජීවිතය කැප කර ඇත. තව ටික කලක් යද්දී පැටවා, හොඳින් වැඩුණු හිමදිවිධේනුවක ලෙස තනිවම ජීවිතය ආරම්භ කරනු ඇත. දැනට, තරුණ පැටවා මුළුමනින්ම මවගේ පිහිට මත යැපෙයි. මේවනවිට හිමදිවිධේනුව පිරිමි සතුන්ගේ ආශ්‍රය අවශ්‍ය වී තිබේ. ඇයට එම ආවේගශීලී හැඟීම ප්‍රතික්ෂේප කළ නොහැකි වෙයි. හිමදිවිධේනුව සමඟ තරුණ පැටවකු සිටීම ගැටලුවකි. ඊට හේතුව හිමදිවි පිරිමි සතුන් ඔවුන්ගේ නොවන පැටවුන් මරා දමන බැවිනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiA-JraPTDWEnWP9qZXO9DhzQy4fy07a3i7D7nCpZXbprnfNaWmQwEVNjvE2YQunUMU8gb4koh5dChBI0eIkwBXISo6bX9j2e1bpw5CCZPOIo-hyl1KFc8Jh7cS85Om3uJFN9O9zS-iy2wU/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002680560.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkWbLSjkN41ihw4H0k7d4TNn3TQybbqZWAfigK8kJehwDb3LxOWY6c_i1N3XDnrjIaDpMmgfzhe39lHXxYWNbR1u28RewaQaGl7uUm8uV_D2oznPVNMbrYRRNfU4kjwOnW8H_R5SBlZ6Cs/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002715880.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyIoY3rrbnCbyJltMwDOEixAUkMzPJcl8BQHM3L-8GbCkX0iITNIowQ6yJ6lFIzwaC6quT7rhY7CE5qmJKelmWT7dzbGhJSVClFdPHGvzC5GWSqeOqlIrtt4JQg_kBvr1Qcv1p-wIDYU_f/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002744320.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhe_TK19rqdGKw5y4cgwn3xNWp26KiPPmHVeU2KmGeFrQhKhU5BC8UjoRPzVA723BdWOCdB7svGbifo8cBAc1xCxRynqQuje9hV-wDZhkG4VOjiyHRaDOI-sCm2m_IGWievmjhZ4CLeuRS1/s16000/Planet.Earth.II.S01E02.720p.HDTV.x264-BEGUN%255Beztv%255D.mkv_002785720.jpg)
පිරිමි මැද්දේ
හිමදිවිධේනුව තමන් සිටින්නේ හරියටම කොතැනදැයි පිරිමි හිමදිවියන්ට දැනගන්න සලස්වයි. උස් ගල් කුලකට නැග ඇය කෑ ගසයි. ඒ හඬ සැතපුම් ගණනාවක් ඈතින් සිටින පිරිමි හිමදිවියන්ට පැහැදිලිව ඇසෙයි. එක් තරුණ පිරිමි සතෙක්, ඒ හඬ අනුව පැමිණ සෙමින් සෙමින් ඇයට ළංවෙයි. හිමදිවියන් දෙදෙනකු මෙලෙස මුහුණට මුහුණ හමුවීම අවිනිශ්චිතය. අවසානය කුමක්වේවිදැයි කිව නොහැකිය. එක්වීමකින් පසු දෙදෙනා විසිර යයි ද නැතිනම් එකිනෙකා මරණය තෙක් සටන් කරාවිද කිව නොහැකිය. තරුණ හිමදිවියා සහ හිමදිවිධේනුව ප්‍රචණ්ඩකාරී වෙද්දී, තවත් ලොකු ශක්තිවන්ත පිරිමි හිමදිවියකු එතැනට ඇදෙයි. මව සහ තරුණ පැටවා පිරිමි හිමදිවියන් දෙදෙනාට මැදිවෙයි. දැන් පැටවාගේ ජීවිතයට අනතුරකි. පැටවා කෙරෙහි ඇති අවදානය තමා වෙත ලබා ගැනීමට හිමදිවිධේනුව කටයුතු කරයි. ඒ, පිරිමි සතුන් දෙදෙනාට කැමැති බව අඟවමිනි. ඒ අතරතුරේ පැටවාට දැන් එතැනින් පලා ගොස් සැඟවීමට උත්සාහ ගනී. හිමදිවිධේනුව පැටවාගේ ආරක්ෂාවට යෑමට තැත් කළ ද ශක්තිවන්ත පිරිමි හිම දිවියා ඇයට හරස් වෙයි. ඔහුගෙන් ඇයට ගැලවුමක් නැත. ඔහුට අවනත වීම හැර වෙන කළ හැකි දෙයක් ද නැත.
අම්මා සහ පැටවා
අවසානයේ පිරිමි හිම දිවියන් දෙදෙනා පිටවී යද්දී, හිමදිවිධේනුව යළි පැටවා වෙත යයි. ඒ මහත් අසීරුවෙන් කොර ගසමිනි. පිරිමි දිවියන්ගේ පහර කෑමට ලක්වී සිටින හිමදිවිධේනුව තුවාල ලබා ඇත. මවට ස්තුති වන්නට පැටවා යහතින් සිටී. දැන් ඉතිං තුවාල සුව වනතුරු හිමදිවිධේනුවට දඬයම් කිරීමට නොහැකිය. වෙයි. හිමදිවියන් වැනි කඳුකර සතුන්ගේ ජීවිත ඉතා අවිනිශ්චිතය. හිමදිවි අම්මා හෝ ඇගේ තරුණ පැටවා හෝ යළි දකින්න නොලැබුණි. කෙසේ නමුත් මාසයකට පමණ පසු, හිමෙන් වැසුණු උස් කඳු මුදුනක ගල් අතරේ සඟවා තිබුණු චලන සංවේදී කැමරාවක් සක්‍රීය විය. හිමදිවිධේනුවක එතැනින් ගමන් කරන අයුරු කැමරාවේ සටහන් විය. ඒ හිමදිවිධේනුව කොර ගසමින් යන බවක් දකින්න නොලැබුණි. ඇය සිටියේ නිරෝගීවය. ඇගේ තුවාල සුවවී ඇත. හිමදිවිධේනුව පිටත්ව ගොස් පැයක් පමණ ගත වෙද්දි, කැමරාව යළි සක්‍රීය වී දසුන් පටිගත කිරීමක් සිදුවිය. එහි සටන් වී තිබුණේ හිමදිවිධේනුවගේ පැටවාගේ දසුන්ය. ඇය දැන් පරිණත ගැහැනු සතෙකි. ඇය දැන් තනිවම, ස්වාධීනව ජීවිතයට මුහුණ දෙමින් සිටින්නීය. සමහරවිට ඇයට යළි කිසිදාක ඇගේ මව මුණ නොගැසෙනු ඇත. එසේ වුවත්, ගල් ගොඩැලි සහ ගල් කුට්ටි අතරේ තැබෙන පණිවුඩ අනුව දෙදෙනා එකිනෙකා ගැන දැන සිටිනු ඇත. ඇගේ මව සාර්ථකව ඇය ලොකු මහත් කිරීමට දායක වී අවසන්ය. එහෙත්, ඇගේ දිවියේ ඉදිරි ගමන අභියෝගාත්මකය. ඉතිරි ජීවිත කාලය පුරාවට ඇයට හුදෙකලාව ජීවත් වීමට ද සිදුවනු ඇත.