'ඩෙල්ටා' ට වඩා බිහිසුණු ලැම්බ්ඩා විකෘතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 7, 2021

'ඩෙල්ටා' ට වඩා බිහිසුණු ලැම්බ්ඩා විකෘතිය

ග්‍රීක හෝඩියේ අකුරු 24 කි. ඇල්ෆා, බේටා, ගැමා, ඩෙල්ටා, එප්සිලෝන්, සේටා, ඒටා, තේටා, අයෝටා, කැපා, ලැම්බ්ඩා, මියු, නියු, එක්ස්ආයි, ඔමික්‍රෝන්, පායි, රෝහ්, සිග්මා, ටාඌ, යූප්සලෝන්, ෆායි, චී, සයි සහ ඔමේගා යනු පිළිවෙළින් එම අකුරු 24 ය.

'කොවිඩ් 19' වයිරසයේ විකෘති ගැන අපට අසන්න ලැබෙන්නේ මේ අකුරුවලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය ග්‍රීක අකුරුවලින් වයිරස විකෘති නම් කර ඇත්තේ එම විකෘති පළමුවෙන් හමුවුණු රටින්, ඒවා නම් කිරීම එම රටවලට අපකීර්තියක් බව පෙන්වා දෙමිනි. 

 පහුගිය දින කීපය පුරාවට අපට අසන්න ලැබුණේ ඩෙල්ටා විකෘතිය ගැනය. ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ලට හේතුව ඩෙල්ටා ය. ඉන්දුනීසියාවේ සහ බංග්ලාදේශයේ සෞඛ්‍ය පද්ධති අඩපණ කිරීම හේතුවක් වී ඇත්තේ ද ඩෙල්ටා ය. රුසියාවේ මොස්කව් නුවර කේන්ද්‍ර කොට ගනිමින් සහ ඊශ්‍රායලයේ ආසාදිතයන් වැඩි වෙමින් පවතින්නේ ඩෙල්ටා නිසාය. ඊශ්‍රායලයේ නව ආසාදිතයන් හමුවෙන්නේ එරට ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී ඇති අවස්ථාවය. 

 ලොව රටවල් 100 කට ඩෙල්ටා පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇල්ෆා, බේටා, ගැමා මෙන් නොව ඩෙල්ටා ඉතාමත් ඉක්මණින් පැතිරෙන, බිහිසුණු වයිරස විකෘතියක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත. ඇල්ෆා, බේටා, ගැමා යනු පිළිවෙළින් එංගලන්තයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙන් හමුවුණු කොරෝනා විකෘති ප්‍රභේදයන්ය. 

දැන් 'ඩෙල්ටා' ට වඩා බිහිසුණු යැයි පැවැසෙන වයිරස විකෘතියක් ද ලොව පුරා ව්‍යාප්තවීමට පටන්ගෙන තිබේ. ඒ 'ලැම්බ්ඩා' ය. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ 'ලැම්බ්ඩා' විකෘතිය රටවල් 30 කට පැතිර ගොස් තිබුණු බවය. බිහිසුණු මෙන්ම, විමසිල්ලෙන් සිටිය යුතු වයිරස විකෘතියක් යැයි හඳුන්වා දෙමින්, 'ලැම්බ්ඩා' විකෘතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානයක් යොමු වූයේ පසුගිය ජූනි 14 වැනිදාය. 

'සී.37' හෙවත් 'ලැම්බ්ඩා' වයිරස විකෘතිය පළමුවෙන් හමුවූයේ 2020 වසර අවසානයේ ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයෙනි. පේරු යනු 'කොවිඩ් 19' වසංගතයෙන් බිහිසුණු ලෙස බැටකන රාජ්‍යයකි. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, පේරු රාජ්‍යයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2,069,051 කි. මරණ වාර්තා වන්නේ 193,588 ක් ලෙසය. පේරු සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, සැබෑ ආසාදිතයන් සහ මරණ ගණන මීට වඩා ඉහළ අගයක් ගනී. 

 2020 වසරේ දෙසැම්බරයේ සිට මෙම 2021 අප්‍රේල් තෙක් කාලයේ ලතින් ඇමෙරිකා රටවලින් හඳුනා ගත් නව කොවිඩ් රෝගීන්ගෙන් වැඩි දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම ලැම්බ්ඩා විකෘතියයි. ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව, චිලී සහ එක්වදෝරය යන රටවල 'කොවිඩ් 19' වසංගතය උග්‍ර කිරීමට හේතුවී ඇත්තේ ද 'ලැම්බ්ඩා' විකෘතිය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

'ඩෙල්ටා' විකෘතියට වඩා 'ලැම්බ්ඩා' විකෘතිය බිහිසුණු බවත්, එන්නත්වලින් පවා එය මට්ටු කළ නොහැකි බවත් මැලේසියානු සෞඛ්‍ය අමාත්‍ය ඇඩ්හම් බාබා අනතුරු ඇගවීමක් කළේය.

'ලැම්බ්ඩා' විකෘතිය සම්බන්ධයෙන්, මැලේසියානු වෛද්‍ය පර්යේෂකයන් දිගින් දිගටම අධ්‍යයන සිදු කරන බවත්, 'ඩෙල්ටා' විකෘතියට වඩා 'ලැම්බ්ඩා' විකෘතිය බිහිසුණු බවත් තහවුරු වී ඇත්තේ ඒ අනුව බවත්, මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ පැවැසීය. මේ වනවිට මැලේසියාව ඇතුළු ආසියානු රටවල් කීපයකින් ද ඕස්ට්‍රේලියාවෙන් ද 'ලැම්බ්ඩා' විකෘතිය ආසාදිත රෝගීන් හමුවීමට පටන්ගෙන තිබේ.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom