ජගත් මහ ලේකම්ගෙන් අනතුරු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 23, 2021

ජගත් මහ ලේකම්ගෙන් අනතුරු

එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ආරම්භ කරමින්, මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ලෝකයට බරපතල අනතුරු ඇඟවීමක් කළේය. 

ජගත් මහ ලේකම්වරයා මෙසේ අනතුරු ඇඟවීම කළේ, වසර දෙකක් තිස්සේ පවතින 'කොවිඩ් 19' වසංගතය සහ එම වසංගතය හේතුවෙන් නිර්මාණය වුණු ආර්ථික අර්බුදය සහ දිනෙන් දින ඔඩුදුවන දේශගුණික විපර්යාස මුල්කොට ගනිමිනි.

''අපගේ ජීවිත කාලයේ අප මුහුණ දෙන දරුණුතම අර්බුදවලට අද අප මුහුණ දෙනවා. අනතුර පෙනි පෙනී ලෝකය ගමන් කරන්නේ වැරදි දිශාවකට. දැන්වත් ලෝක නායකයන් අවදි විය යුතුයි. ලෝක නායකයන් මේ අර්බුදවල බරපතලකම තේරුම් ගත යුතුයි. එකමුතු වී ඒවාට මුහුණ දිය යුතුයි'' යැයි මහ ලේකම්වරයා අවධාරණය කළේය. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වනු වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික දේශපාලන සංවාදයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජිකයන් 193 දෙනකුගෙන් සමන්විතය. ලෝක නායකයන්ට එකට එකතුවීමට ලැබෙන එකම අවස්ථාව ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සැලකිය හැකිය. මහා මණ්ඩල සැසිය පැවැත්වෙන්නේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේදීය.

මෙවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ මූලික කටයුතු ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. රාජ්‍ය නායකයන් සමුළුවට එක්වෙමින්, දේශන පැවැත්වීම සහ එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වීම ආරම්භ වූයේ පෙරේදා (21) සිටය. 

රාජ්‍ය නායකයන් දේශන පැවැත්වීම සහ එකිනෙකා හමුවී සබඳතා වර්ධනය කර ගැනීම සමුළුවට සමගාමීව ලබන 27 තෙක් පැවැත්වෙයි. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, වසර දෙකකට පසු, මෙවර මහා මණ්ඩල සැසිය රාජ්‍ය නායකයෝ 100 කට වැඩි පිරිසක් නිව්යෝක් නුවරට පැමිණ සිටින බවත්, ඉදිරියේ දී පැමිණීමට නියමිත බවත් පැවැසෙයි.

ඊට අමතරව රාජ්‍ය කායකයන් 60 දෙනකු පමණ සමුළුවට සහභාගී වන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අබ්දුල්ලා ෂහීද් ය. 

අබ්දුල්ලා ෂහීද් මාලදිවයිනේ හිටපු විදේශ ඇමැතිවරයාය. මාලදිවයින දේශපාලනඥයකු මහා මණ්ඩල සැසියේ සභාපති ධුරය හොබවන පළමු අවස්ථාව මෙයයි. සමුළුවට සහභාගී වන සියලු රාජ්‍ය නායකයන් පිළිගනිමින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළේ අබ්දුල්ලා ෂහීද් ය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom