ළාබාලතම තාරකා විද්‍යාඥවරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 3, 2021

ළාබාලතම තාරකා විද්‍යාඥවරිය

මේ ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, ග්‍රහක සොයන අවුරුදු 8 හැවිරිදි පුංචි දැරියක ගැන කතාවකි. මේ දැරිය නිකෝල් ඔලිවේරා ය. මැය ජීවත් වන්නේ බ්‍රසීලයේ ෆෝටලේසා නගරයේය. මේ දැරිය දුරේක්ෂවලින් ලබා ගන්නා ඡායාරූප ඇසුරින්, මේ වනවිට ග්‍රහක ඇතුළු ග්‍රහ වස්තූන් 18 ක් හඳුනා ගැනීමට සමත් වී සිටින්නීය. 

නිකෝල් අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන්නේ, ළදරු වියේ පටන්ය. ඇවිදින්නටත් පෙර ඇය අත් දිගු කළේ රෑ අහසේ තරුවලට බවත් ඇගේ මාපියෝ පවසති. බ්‍රිතාන්‍යයේ 'ඩේලිමේල්' පුවත් වෙබ් අඩවිය නිකෝල් ඔලිවේරා හඳුන්වන්නේ ඇය ලොව ළාබාලතම තාරකා විද්‍යාවරිය කියාය. 

ඇමෙරිකාවේ නාසා ආයතනය, 'ජාත්‍යන්තර තාරකා විද්‍යාත්මක සෙවීම් සහයෝගීතාව' නමැති සංවිධානය හරහා 'ඇස්ට්‍රොයිඩ් හන්ටර්ස්' (ග්‍රහක දඩයක්කාරයෝ) යන නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය නාසා ආයතනයේ 'පුරවැසි' විද්‍යා වැඩසටහනකි. තාරකා විද්‍යාව ගැන උනන්දුවක් දක්වන, වෘත්තීය තාරකා විද්‍යාඥයන් නොවන ඕනෑම අයකුට (විශේෂයෙන් පාසල් දරුදැරියන්ට) ලියාපදිංචි වී මෙම වැඩසටහනට එක්වීමට අවස්ථාව ලැබේ. 

එම වැඩසටහනට සම්බන්ධ වන අයට නාසා ආයතනය ලොව පුරා පිහිටි දුරේක්ෂවලින් සහ අභ්‍යවකාශයේ රැඳවූ දුරේක්ෂවලින් ගන්නා ඡායාරූප ලබා දෙයි. එම ඡායාරූපවල ග්‍රහ වස්තු අතරින් ග්‍රහක හඳුනා ගැනීම කළ යුතුය. එය ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මනා අවබෝධයකින් කළ යුතු කටයුත්තකි. නිකෝල් ඔලිවේරා ග්‍රහක ඇතුළු ග්‍රහ වස්තූන් 18 කට වැඩි ගණනක් සොයා ගෙන ඇත්තේ ඇයට ලැබුණු ඡායාරූප අධ්‍යයනය කිරීමෙනි. 

පුංචි නිකෝල්ගේ කාමරේ බිත්ති පිරී තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ රූපවලිනි. රාක්ක, තාරකා විද්‍යාව සම්බන්ධ පොත්වලින් පිරී ඇත. නිකොල් ඇගේ වැඩ කටයුතු සඳහා පරිහරණය කරන්නේ පුළුල් පරිගණක තිර දෙකක් සහ වේගවත් පරිගණයකි. දුරේක්ෂවලින් ඡායාරූප ගත කෙරෙන රෑ අහසේ ඡායාරූප අධ්‍යයනය නිකෝල්ගේ විනෝදාංශයයි. 

නිකෝල් 'ඇස්ට්‍රොයිඩ් හන්ටර්ස්' වැඩසටහන සමඟ සම්බන්ධ වූයේ බ්‍රසීල විද්‍යා අමත්‍යාංශය හරහාය. බ්‍රසීල විද්‍යා අමත්‍යාංශය ඇමෙරිකාවේ 'නාසා' ආයතනය සමඟ සම්බන්ධ වී සිටී. අද වනවිට නාසා විද්‍යාඥයන්ට නිකෝල් ඔලිවේරා අමුත්තියක නොවෙයි. 

නිකොල් ද නාසා විද්‍යාඥයන් සහ නාසා ආයතනය සමඟ සම්බන්ධ ලෝ ප්‍රකට විද්‍යාඥයන් දැන හඳුනාගෙන ඇත. නාසා ආයතනේ සම්මන්ත්‍රණවලට වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වී අදහස් හුවමාරු කර ගනී. බ්‍රසීලයේ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා නිකෝල්ගේ මිතුරෙකි. බ්‍රසීලය නියෝජනය කරමින් අභ්‍යවකාශයට ගිය එකම ගගනගාමියා වන මාකෝස් පොන්ටේස් ද නිකෝල්ගේ මිතුරෙකි.
නිකොල් අනාගත සිහින මවන්නේ ගගනගාමියකු වීමට නම් නොවෙයි. ඇයට අවශ්‍ය වී ඇත්තේත් ඇගේ ආසාව ඇත්තේත් ගගන ඉන්ජිනේරුවරියක වීමටය. අභ්‍යවකාශයට ගගනගාමීන් ගෙන යෑමට රොකට් නිපදවීමටය. දිනෙක ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් එහි ඇති රොකට් නැරැඹීමට ද නිකෝල් ආසාවෙන් බලා සිටින්නීය. 

නිකෝල් සොයා ගත් ග්‍රහ වස්තූන් 18 අතරින් ග්‍රහක මොනවාදැයි සොයා ගැනීමේ කටයුත්ත පැවරෙන්නේ නාසා ආයතනයේ විද්‍යාඥයන්ටය. ඔවුන් ඒ ගැන වැඩිදුර ගවේෂණ සිදු කරනු ඇත. ඉන්පසු ග්‍රහක සඳහා නම් තැබීමේ අවස්ථාව ද නිකෝල් ට හිමිවෙයි. නිකෝල් පවසන්නේ, එම ග්‍රහක ඇය බ්‍රසීලයේ කීර්තිමත් විද්‍යාඥයන් ඇසුරින් සහ ඇගේ මව පියා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් ඇසුරින් නම් කිරීමට බලාපොරොත්තු වන බවය.

ග්‍රහ වස්තූන් අතරින් ග්‍රහක මොනවාදැයි තෝරා බේරා ගැනීමට වසර කීපයක් ගත වනු ඇත. ඊට හේතුව එය සංකීර්ණ කටයුත්තක් බැවිනි. වසර කීපයක් ගත වුවත්, එම ග්‍රහ වස්තූ මුලින්ම සොයා ගත්තේ නිකෝල් බැවින්, එම ගෞරවය ඇයට හිමිවනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කරයි. එසේ වුවහොත්, එම සොයා ගැනිම කළ ළාබාලතම තැනැත්තා වනු ඇත්තේ ද ඇයයි. එවිට ඇය ඉතාලි ආධුනික තාරකා විද්‍යාඥ ලුවීජී සැන්නිනෝගේ තැබූ වාර්තාව අලුත් කරනු ඇත. ලුවීජී සැන්නිනෝ අවුරුදු 18 දී ග්‍රහක දෙකක් සොයා ගත්තේය. ඒ, 1998 සහ 1999 වසරේදීය.

''දුරේක්ෂවලින් ලබා ගන්නා ඡායාරූප හොඳින් නිරීක්ෂණය කරමින්, ග්‍රහ වස්තූන් අතරින්, ග්‍රහක සොයා ගැනීම පහසු නැහැ. ඒකට හොඳ ඇහැක් තියෙන්න ඕනෑ. නිකෝල් ඒකට උපන් හපන්නියක්' යැයි නිකෝල්ගේ තාරකා විද්‍යා ගුරුවරයා වන හීලියෝමාර්සියෝ රොඩ්‍රීගස් පවසයි. 
නිකෝල් අධ්‍යාපනය හදාරන්නේ ෆෝටලේසා නගරයේ පෞද්ගලික පාසලකිනි. ඒ ඇගේ දස්කම් නිසා ඇයට හිමිවුණු ශිෂ්‍යත්වයකිනි. මාපියන් නිකොල් සමඟ ෆෝටලේසා නගරයේ පදිංචියට පැමිණ ඇත්තේ ද ඇගේ අධ්‍යාපන කටයුතුවගට මුල්තැන දෙමිනි. නිකෝල්ගේ ඇති සුවිශේෂී ගුණයක් වන්නේ තාරකා විද්‍යාව ගැනත් ග්‍රහවස්තූන් සහ ග්‍රහක ගැනත් තමන් දන්නා දැනුම අනෙක් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ බෙදා ගැනීම යැයි ඇගේ ගුරුවරු පවසති.

''අපේ දූ තාරකා විද්‍යා ගැන ලොකු උනන්දුවක් දක්වනවා. සිවුවැනි උපන් දිනයට මොනවාද ඕනෑ ඇසුවාම ඇය ඉල්ලුවේ මට ඕනෑ දුරේක්ෂයක් යන්නයි. මමත් සැමියත් දුරේක්ෂ කියන්නේ මොනවාද කියාවත් ඒ වෙනකොට දැන සිටියේ නැහැ. දූ ඉල්ලූ විදියේ දුරේක්ෂයක් ඇයට ගෙනැවිත් දෙන්න අපට වත්කම් තිබුණේ නැහැ. ඒත් දුරේක්ෂයක් මිලදී ගන්න අපි සල්ලි එකතු කළා. අපට ඇයට දුරේක්ෂයක් ලබා දෙන්න හැකිවුණේ 7 වැනි උපන් දිනයට. ඇගේ දස්කම් නිසා ඇයට ශිෂ්‍යත්වයක් ලැබුණා නගරයේ ලොකු පාසලකට. අපි නගරයේ පදිංචියට ආවා. තාරකා විද්‍යාවෙන් ඇය ඉදිරියට යනවා. අප ඇයට කළ හැකි උපරිමයෙන් උදවු කරනවා. එහෙම නොකර කොහොමද?'' යැයි නිකෝල්ගේ අසාමාන්‍ය දක්ෂතා අගය කරමින් ඇගේ මව ජිල්මා ජැනාකා පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom