කොරෝනා මට්ටු කරන කරල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 3, 2021

කොරෝනා මට්ටු කරන කරල


'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති බෙහෙත් කරල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරයි. 

'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය. 'මර්ක්' සමාගමේ ආරම්භවය 1891 දීය. එය ස්වාධීන සමාගමක් බවට පත් වූයේ 1917 වසරේදීය. මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය. 

 මේ වනවිට 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ වර්ග කීපයක් නිර්මාණය කර තිබේ. කෙසේ නමුත් එම ඖෂධ ලබා දීම සිදුවන්නේ කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය.

'මොල්නුපියවියර්' බෙහෙත් කරල එසේ අවධානම් එකක් නොවන බවත්, එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි. 'මොල්නුපියවියර්' බෙහෙත් කරලින් සිදුවන්නේ, 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීමය. 

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද මේ වනවිට සිදුකර අවසන් හෙයින්, බෙහෙත් කරල භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුළත 'මොල්නුපියවියර්' ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, 'මොල්නුපියවියර්' සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වුවහොත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන උනන්දු වනු ඇත. 

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුචි ද පෙන්වා දී ඇත්තේ, 'කොවිඩ් 19' වසංගතයට එරෙහිව මෙම 'මොල්නුපියවියර්' ඖෂධය හොඳ අවියක් වේවි යැයි තමන් විශ්වාස කරන බවය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom