දිවාලී සැමරුම් සඳහා විශාල වශයෙන් ගිනිකෙළි දැල්වීම සහ පිදුරු ගිනි තැබීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මේ වනවිට විෂ දුමාරයකින් වැසී පවතින බවත් අගනුවර වායු දූෂණය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වායු දූෂණය ඉහළ යෑමත් සමඟ මේ වනවිට අගනුවර දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, පාසල් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ කුඩා දරුවන් හැකිතාක් නිවෙස්වල රඳවා තබා ගන්නා ලෙසය. නවදිල්ලි අගනුවර වායු දූෂණය අවම කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ඉන්දීය අගවිනිසුරුවරයා මධ්‍යම රජයට දන්වා ඇත.
ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනර් මෙසේ මධ්‍යම රජයට දැනුම් දුන්නේ, කාලගුණ විද්‍යාඥයන් සහ පරිසරවේදීන්ගේ ලබා දුන් දත්ත සහ වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. පසුගිය 2018, 2019 සහ 2020 වසරවලදී නවදිල්ලි අගනුවර දීවාලි උත්සව සැමරීම සිදුවූයේ ගිනිකෙළි දැල්වීම හෝ පිදුරු ගිනි තැබීම සීමා කිරීමත් තහනම් කිරීමත් සිදුවිය.
ඒ වායු දූෂණයේ වැඩි වීමක් පෙන්නුම් කළ බැවිනි. එය දැඩි ජනතා විරෝධයට හේතුවක් විය.
එසේ වුවත්, ගිනි කෙළි දැල්වීමට එරෙහිව පැනැවූ තහංචි හේතුවෙන්, පසුගිය 2020 වසරේ දී වායු දූෂණය වේගයෙන් පහළ ගියේය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ජනතා ඒකරාශීවීම සීමාවීම ද වායු දූෂණය අඩු වීමට තවත් හේතුවක් විය.
මේ වසරේ 'කොවිඩ් 19' අවදානම අඩු වී ඇති බැවින් නවදිල්ලි අගනුවර වැසියෝ මහත් උත්සවශ්‍රීයෙන් දීවාලි සැමරුම් පැවැත්වූහ. ඒ, පරිසරවේදීන්ගේ අනතුරු ඇගවීම් නොසලකා හරිමිනි.
ගිනිකෙළි දල්වමින් පිදුරු ගිනි තබමින් දීවාලි සැමරුම් නොකඩා පැවැත්වෙද්දී වායු දූෂණය අනපේක්ෂිත ආකාරයට ඉහළ ගොස් නගරය විෂ දුමාරයකින් වැසී ගිය බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
කාලගුණ විද්‍යාඥයන් සහ පරිසරවේදීන් කළ විමර්ශනයකින් හෙළි වී ඇත්තේ නවදිල්ලි වැසියන්ගෙන් සියයට 80 ක් දැඩි හිසරදයෙන් සහ ශ්වසන ආබාධවලින් පෙළන බවය.
වායු දූෂණයෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ ගැබිනි මවුවරුන්ටය. වාතයේ විෂ සංඝටක මවු කුස තුළ සිටින දරුවන් දැඩි ලෙස රෝගී කරන බව වෛද්‍යවරු පෙන්වා දෙති. වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ ලක්ෂ 10කට වැඩි පිරිසක් මියයන බව ද වෛද්‍යවරු පැහැදිලි කරති. ලොව වැඩිම වායු දූෂණය සහිත නගර ලැයිස්තුවේ ඉහළින් ම ඇත්තේ නවදිල්ලි අගනුවරය.
෴ උපුටා ගැනීම - NDTV