ඇමෙරිකන් ජනපති චීන ජනපති හමුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 15, 2021

ඇමෙරිකන් ජනපති චීන ජනපති හමුවක්

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් අද (15) පැවැත්වෙයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම හමුවේ අරමුණ දෙරට අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීම බව ධවල මන්දිරය මෙන්ම චීන විදේශ කටයුතු අමත්‍යාංශය ද නිවේදන නිකුත් කරමින් පෙන්වා දී ඇත. 

බයිඩන් පරිපාලනය චීනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ කරයි. චීනය ද ඊට කැමැත්තක් දක්වා ඇත. 'කොප්26' සමුළුවේදී ද කාගේත් පුදුමයට හේතුවක් වන අයුරින් ඇමෙරිකාව සහ චීනය කාබන් විමෝචනය අඩු කිරීමට සහයෝගයෙන් වැඩ කරන බව පැවැසීය. 

අද (15) පැවැත්වෙන හමුවේ දී, චීන තායිවාන අර්බුදය, චීනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ඇමෙරිකා චීන වෙළෙඳ කටයුතු පිළිබඳවත්, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කෙරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් බලයට පැමිණියේ, චීනය ඇමෙරිකානුවන්ට තර්ජනයක් බවත්, චීනය ඇමෙරිකානුවන්ට රැකියා අවස්ථා අහිමි කර ඇති බවත් පවසමිනි. 

ට්‍රම්ප් පරිපාලන සමයේ ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීමක් කළ බැවින්, දෙරට අතර වෙ‍ෙළඳ යුද්ධයක් නිර්මාණය විය. 

මෙම වසර ආරම්භයේ දී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් බයිඩන් බලයට ආ විට කියා සිටියේ චීනය සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා බවය. කෙසේ නමුත් චීනයේ 'මැරකම්'වලට එරෙහිව සැමවිටම දැඩි තීන්දු තීරණ ගැනීමට ද තමන් පසුබට නොවන බව ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

෴ උපුටා ගැනීම - AFP

Classified_Ad

Classified_Ad_News_Bottom