ලාහෝරයේත් වාතය දූෂණය වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 18, 2021

ලාහෝරයේත් වාතය දූෂණය වෙලා

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙන්ම, පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවර ද වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි වාතයේ ගුණාත්මය පිළිබඳ විමසිල්ලෙන් පසුවන ස්විට්සර්ලන්තයේ 'අයි.කියු.එයාර්' තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 

වාතය දූෂණය වී ඇතැයි පැවැසෙන්නේ වාතයේ ගුණාත්මකභාවය 300 සීමාව ඉක්මවා යෑමේදීය. 'අයි.කියු.එයාර්' තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවට අනුව, ලාහෝර් නුවර වාතයේ ගුණාත්මය පවතින්නේ 348 ක් ලෙසය. 

වායු දූෂණය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි දත්ත ඉදිරිපත් කරන තාක්ෂණික සමාගමක් ලෙස 'අයි.කියු.එයාර්' ලොව පිළිගැනීමකට ලක් වී ඇත. මෙම සමාගම වාතයේ ගුණාත්මක මැන බැලීම සිදු කරන්නේ 'එයාර් විෂුවල්' මෘදුකාංගය භාවිතයට ගනිමිනි. ඒ සඳහා කාලගුණ විද්‍යාඥයන්ගෙන් මෙන්ම කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවලින් ද ලැබෙන දත්ත පාදක කර ගනී. 

ලාහෝරයේ වායු දූෂණය අවම කර ගැනීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව පාකිස්තාන රජය පමණක් නොව, ලාහෝරය අයත් පන්ජාබ් ප්‍රාන්ත රජය ද පවසා ඇත. ලාහෝරයේ වායු දූෂණය මෙසේ ඉහවහා යෑමට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඩීසල් දුමය. සීත කාලගුණය හේතුවෙන් ලාහෝර් වැසියන් ගිනිමැල දල්වමින් උණුසුම ලබා ගැනීමට උත්සාහ ගනී. මෙසේ ගිනිමැල දැල්වීමේ දී වාතයට එක්වන දුම් දීර්ඝ කාලයක් වාතයේ රැඳී පැවැතීම නිසා ද වායු දූෂණය ඉහළ යන බව පැවැසෙයි. 

ලාහෝරය අයත් පන්ජාබය පිහිටා ඇත්තේ ඉන්දීය දේශසීමාව අසලය. ලාහෝරයේ ජනගහනය මිලියන 11 කි. මේ වනවිටත් ලාහෝර් වැසියන් ශ්වසන අපහසුතා සහ ශ්වසන රෝගවලින් පීඩාවට පත් වී සිටින බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

පසුගිය දිනවල වායු දූෂණය අතින් පුවත් මැවීමට සමත් වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරය. නවදිල්ලියේ වායු දූෂණය ඉහවහා යෑමත් සමඟ පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට ප්‍රාන්ත බලධාරීහු පියවර ගත්හ. 

මේවනවිට රජයේ සහ කාර්යාල සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමට ඉඩ දී, නගරයට ඇතුළුවන වාහන ප්‍රමාණය අවම කර තිබේ. නගරයේ ඉදි කිරීම් ආදිය ලබන 21 වැනිදා තෙක් නවත්වා දමා ඇත. අවසර ලබා දී ඇත්තේ ප්‍රවාහන සහ ආරක්ෂක අංශ සම්බන්ධ ව්‍යාපෘති සඳහා පමණි. 

ඊට අමතරව, නවදිල්ලි නගරයේ ගල්අඟුරු බලාගාර 11 පිහිටා ඇති අතර ඉන් ක්‍රියාත්මක වීමට අවසර දී ඇත්තේ 5 කට පමණක් බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. නවදිල්ලියේ වායු දූෂණය ඉහවහා ගියේ දීපාවලී සැමැරුම් සමඟ ඉන්දියානුවන් ගිණිකෙළි දැල්වීමය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom