සීනිබෝල පෙම්වතියන්ගේ චරිත ලැබිලා නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 19, 2021

සීනිබෝල පෙම්වතියන්ගේ චරිත ලැබිලා නෑ

වේදිකාවෙන් පුංචි තිරයට ගොඩ වැදුණු නව පරපුරේ රංගන තරු අතර නයෝමි තක්‍ෂිලා කියන්නේ සිය දක්‍ෂතාව තුළින් වසර ගණනාවක් පුරාවට ප්‍රේක්‍ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරණීය ලෙංගතු රංගන ශිල්පිණියක්. 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? 
ඇත්තටම කොරෝනා කියලා මට විවේකයක් ලැබුණේ නැහැ. අනුරාධපුර ගමේ ගිහිල්ලා අම්මල එක්ක ටික දවසක් ඉදලා නැවත වැඩ ආරම්භ කළා. කොරෝනා කියලා අපිට නිර්මාණ අතමග දාලා යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. පරිස්සමෙන් වැඩ කිරීම තමයි ඒ වෙලාවේ අපේ වගකීම වුණේ. 

ඔබ නිළියක් වුණේ කොහොමද?
2012-2013 කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලට එන්නේ රංග කලාව උපාධිය හදාරලා ගුරු වෘත්තියට යන්න. ඒ අතරවාරයේ දී තමයි මට වේදිකා නාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අවුරුදු 4ක් වේදිකා නාටය්‍යවල සහ රංගන පාසලෙන් ලැබුණු දැනුම අද්දැකීම් එක්ක පුංචි තිරයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ. 

ගෙදරින් කැමැති වුණාද?
මුල්ම නාට්‍යයේ මගේ අම්මාට හිටියේ මාලනී ෆොන්සේකා මහත්මිය. ඇය වැනි දැවැන්ත චරිතයක් සමඟ පළමු නාට්‍යයේම රඟපාන්න ලැබුණ එක මම ලබපු ලොකු වාසනාවක්. ඇත්තටම මේක නිළියක් වෙන්න ආපු ගමනක් නෙවේ. මුල දී අම්මායි තාත්තයි මම රඟපානවට කොහෙත්ම කැමති වුණේ නැහැ. එයාලගේ එකම හීනය වුණේ උපාධිය සම්පූර්ණ කරලා මම ගුරුවරියක් වෙනවා දකින්නයි. දැන් මම උපාධිය අවසන් කරලා ඉදිරියේ දී ගුරු වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 
රංගන අත්දැකීම් ගැන කීවොත්?
ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ගොඩාක් දුක් වින්දා. දුෂ්කරතා ගොඩකට මූණ දුන්නා. කවදාවත් හිතවත්කම්වලට මං චරිත අරගෙන නැහැ. සෑම දෙයක්ම දිනා ගන්නේ මගේ තනි මහන්සියෙන්. මම රංගනය ඉගෙන ගෙන ආපු නිසා ලැබුණු අවස්ථාවන්ගෙන් උපරිම සාධාරණය මං ඉෂ්ඨ කළා. මේ හැම දේකටම කැපවීම, දක්‍ෂතාවය වගේම වාසනා ගුණයත් උපරිමයෙන්ම තිබුණා. කවදාවත් සීනිබෝල පෙම්වතියන්ගේ චරිත මට ලැබිලා නැහැ. ලැබුණු හැම චරිතයකම ඒ චරිතය ඇතුළේ මට කරන්න දෙයක් තිබුණා. ඒක වාසනාවක් විදිහට තමයි මම දකින්නේ.  රඟපෑවේ නැත්නම්  මම  ගමට (අනුරාධපුරය) වෙලා විවාහයක් කරගෙන ඉඳිවි. 

නයෝමිට කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වුණු අවස්ථා නැද්ද? 
ඇත්තටම මම දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 9ක් විතර කිසිම දවසක කැපිලි කෙටිලි, හිත් රිදවිච්චි ප්‍රතික්‍ෂේප වීම් මට කවදාවත් වෙලා නැහැ. මාත් එක්ක වැඩ කරන ජ්‍යෙෂ්‍ඨයන්ට මම ගොඩක් ගරු කරනවා. සුදුස්සාට සුදුසු තැන දීලා වැඩ කරොත් ඉබේටම එයාලගෙන් ලැබෙන්න ඕන ගෞරවය අපට ලැබෙනවා. 
ස්ථිර වශයෙන්ම පදිංචිය කොළඹද? 
අපෝ නැහැ. මගේ ස්ථිර වාසස්ථානය අනුරාධපුර නෙල්ලිකුලමේ ගම. කලාව එක්ක තමයි මම කොළඹ ඉන්නේ. ගුරු වෘත්තියට පිවිසීමේ බලපොරොත්තු තමයි මගේ ඊළඟ හීනය. ඒත් කලාව අතහරින්නේ නැහැ.  හැමදාම මෙහෙම ඉන්න බෑනේ. ලබන අවුරුද්දේ විවාහයටත් සූදානම් වෙනවා.

එයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධද කෙනෙක්ද? 
නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ කලා ගමනට දෙමාපියන්ගෙන් වගේම ඔහුගෙනුත් ලොකු සහයක ලැබෙනවා.

෴ නදීශා අතුකෝරළ - සිරිකත
  ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom