නයනතාරාගේ ද්විත්ව චරිත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 30, 2021

නයනතාරාගේ ද්විත්ව චරිත

රංගන ශිල්පිනියක් ලෙස ඉතා කෙටි කලකදීම ජනතා ආකර්ෂණය දිනාගත් නව පරපුරේ දක්ෂ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමආරච්චි. ඇය පිට පිටම ජනතා සම්මානයට ද පාත්‍රවුණේ ඒ දක්ෂතාවයන් නිසාමයි. මේ දිනවල තවත් එක් පියවරක් ඇය ඉදිරියට තබන්නේ ද්විත්ව චරිත රංගනයක් සමගින් ඒ සිරස නාළිකාවෙන් රාත්‍රි 9.30 විකාශය වන ‘‘පියාඹන මූනිස්සම්’’ ටෙලි නිර්මාණය හරහා. මේ කතාබහ වෙන්වන්නේ ඇය වෙනුවෙන්. 

අලුත්ම නිර්මාණයක දකින්න ඉන්නවා. මුලින්ම මේ වැඩකටයුත්ත ගැන කතා කරමුද? 
ඔව්. ඇත්තටම මම ප්‍රථම වතාවට ද්විත්ව චරිත නිරූපණයෙන් දායක වන පළමු ටෙලි නිර්මාණය තමයි මගේ අලුත්ම වැඩකටයුත්ත. ‘‘පියාඹන මූනිස්සම්’’ මේ දීර්ඝ කතා මාලාවක් නෙමෙයි. ටිකක් වෙනස්ම ආකාරය කතාවක්. හාස්‍යය, දුක, කුතුහලය වැනි හැම භාවයක්ම මිශ්‍රවෙලා තියෙන නිර්මාණ්‍ යක් මේ, ඇත්තටම රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. 
මේ ද්විත්ව චරිත රංගනයක් කිව්වනේ? ඒ කියන්නේ නයනතාරාට ලොකු අත්දැකීමක් වෙන්න ඇති? 
අලුත් අත්දැකීමකටත් වඩා එහා ගිය ලොකු අභියෝගයක් වුණා. මොකද මම තවම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒ නිසා මෙතරම් ඉක්මණට ද්විත්ව චරිත ඉදිරිපත් කිරීම අභියෝගයක්. නමුත් මෙහි අධ්‍යක්ෂවරයා අනුරුද්ධ ජයසිංහ මහතාගේ සිට මේ සඳහා දායක වෙන රංගන ශිල්පී ශිල්පිනියන් ඇතුළු ඒ කණ්ඩායමේ සියලුම දෙනාගෙන් මට ලොකු සහයෝගයක් අඩුවක් නැතිවම ලැබුණා. ඒ වගේම අපිට ලොකු කාලයක් අරගෙන පුහුණුවීම් කරලා හැමදේම හොයලා බලලා චරිත රංගනය යෙදෙන්න අවකාශය ලැබුණා. 

ඉතින් ද්විත්ව චරිතයක් කරනවා කියන්නේ සුළුපටු කාර්යයක් නෙමෙයි. මේ චරිත දෙක කොයි ආකාරයට ද දිවෙන්නේ? 
නිත්‍යා සහ මාලි කියන චරිත දෙක තමයි ලැබිලා තියෙන්නේ. නිත්‍යා කියන්නේ මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙන ජීවිතේ අඩු වයසකින් ලොකු වගකීම් රැසක් දරන කලබලකාරී, දඟකාර, මුරණ්ඩු චරිතයක්. ජීවිතේ ගැන බරපතළ විදියට හිතන කෙනෙක් නෙමෙයි. කෙසේ හෝ ජීවිතය ගැටගහන්න ජීවි​තේ කියන තරඟය කෙසේ හෝ දිනන්න ඇය තරඟ කරනවා. ඒ අත​රෙදී ඇයට විවිධ විදියේ සිද්ධීන් දාමයකට මුහුණදෙන්නත් සිදු වෙනවා. ටිකක් වෙනස් චරිත රංගනයක් ඒ වගේම ‘‘මාලි’’ චරිතය ගත්තොත් ඇය ඉතාම හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන ඉහළ පාන්තික පවුලක අහිංසක ඉතාමත් ආදරණීය චරිතයක්. මෙහි පිටපත් රචක දිනිදු සමීර ඒකනායක ඇතුළුව මම දන්නා තරමින් තවත් රචකයන් දෙදෙනෙක් මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. 

මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඇත්තටම මේ නිර්මාණය විකාශය වීමටත් පෙර සිට පූර්ව ප්‍රචාරක පට විකාශනය වෙද්දීම වගේ හොඳ ප්‍රතිචාර ලැබුණා. වයස් භේදයකින් තොරවම. පූර්ව ප්‍රචාරක පට මඟින්ම චරිතවලට ආදරය කරනවා කියන දේ ඇත්තටම පුදුම සහගත දෙයක්, ඉතින් කතාව පටන් අරන් තවම දවසයි දෙකයිනේ. ඒ ටිකට ඉතා ඉහළ ප්‍රතිචාරයක් මේ වෙද්දි ලැබෙනවා. ඉදිරියේදී බලමු ප්‍රේක්ෂකයෝ ‘‘පියාඹන මූනිස්සම්’’ එක්ක කොයි විදියට ද එකතුවෙලා ඉන්නේ කියලා. 

මේ චරිත රංගනයේ දී නිත්‍යා සහ මාලි චරිත දෙක මාරු වෙන්නේ එහෙම නැද්ද? 
ලංකාව විතරක් නෙමෙයි බොලිවුඩ්, හොලිවුඩ් නිර්මාණයන් හරහා ද්විත්ව චරිත රංගනයන් අපි ඕනෑ තරම් දැකලා තියෙනවනෙ. ඉතින් ඒ චරිත රංගනයන් ලොකු වෙනස්කම් එක්ක තමයි ලබා දෙන්නේ. ඒ භාවයන් හැසිරීම් රටාව, ඇඳුම් පැළඳුම් වේශ නිරූපණය හැමදේම වෙනස් කරලා. නමුත් මේ නිර්මාණයේ ලොකු වෙනස්කම් සිදුවුණේ නැහැ. හැසිරීම් රටාවේ සහ නිරූපණයේ සියුම් වෙනස්කම් කිහිපයක් තමයි මේ තුළ සිද්ධ වෙන්නේ. ඉතින් මෙහි මම වටහාගත් චරිත ලක්ෂණයන් එක්ක අධ්‍යක්ෂවරයාගේ සිට මේ කණ්ඩායමේ හැමෝගෙන්ම ලැබෙන සහයෝගයත් එක්ක ඒ චරිත දෙක පහසුවෙන් කරගෙන යන්න අවස්ථා ලැබිලා තියෙනවා. 

නයනතාරා පසුගිය කාලෙ එකම චරිතෙකට වගේ කොටුවෙලානෙ හිටියේ. මේ රංගනය ලොකු වෙනසක් සිදු කරයි කියලා හිතනව ද? 
ඒ මම සම්බන්ධ වෙලා හිටියේ මෙගා නාට්‍යයකටනෙ. නමුත් මම ඒ තුළින් තමයි ප්‍රෙක්ෂක ජනතාව අතරට ආවේ. මාව හඳුනාගත්තේ දෙවනි ඉනිමෙ දෙව්මි චරිතය තුළින්. ඒ තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ නිසා ඒ ගෞරවය, ආදරය තවමත් ඒ විදිහයම රැඳිලා තියෙනවා. ඉතින් ඉදිරියටත් මීට අමතරව මම රංගනයෙන් දායක වන අලුත් නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ටෙලි නිර්මාණ වගේම සිනමා නිර්මාණ කිහිපයකින් දකින්න ලැබෙයි. 

ඒ කියන්නේ නයනතාරා සීමිත කොටස් නිර්මාණයන් සඳහා පමණ ද දැන් දායක වෙන්නේ? 
එහෙම වාරණ මොනවත් දාගෙනනම් නැහැ. දැනට මම මෙගා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්න නිසා එහි වැඩකටයුතුවලට දායකත්වය ලබා දීලා තියෙනවනෙ. ඒ නිසා නිර්මාණවලට වැඩි ඉඩක් ලබාදෙන්න ටිකක් අපහසුයි. කාලය කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවය නිසා. ඒ වගේම රටේ පැවති සහ පවතින වසංගත තත්ත්වය නිසාත් පොඩි පසුබෑමකට ලක්වුණානෙ. ඉතින් මම හිතනවා මේ හැමදේම පහව ගිහින් ඉදිරියේදී හොඳ දේවල් එක්ක එකතු වෙන්න ලැබෙයි කියලා. ඒ දේ ධනාත්මකව හිතමු හොඳ දෙයක් සිද්ධවෙන්න කියලා. 

කොවිඩ් ගැන කතා කළ නිසාම නයනතාරාගෙනුත් අහන්න හිතුණා. ඔබත් පසුගිය කාලයේ මේ කටුක අත්දැකීමට මුහුණ දුන්නා නේද? 
ඔව්. ඇත්තටම ඒ අමිහිරි කටුක අත්දැකීමට පසුගිය අගෝස්තු මාසයේ දී මටත් මුහුණ පාන්න සිදුවුණා. ඒ දුක කටුක බව කිසිම කෙනෙක් විඳින්න ඕනා අත්දැකීමක් නෙමෙයි. මොකද ඒ නිකම්ම නිකම් වෛරසයක් නෙමෙයි. ඇත්තටම මටත් මේ දේ සිද්ධ වුණේ කොහොමද? වැරදුණේ කොතැන ද හරියටම කියන්න මම දන්නෙත් නැහැ. මොකද පුළුවන් උපරිමෙන් මම පරිස්සම් වුණා. නමුත් මම හිතන්නේ ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් කරන කෙනෙක්ට මාස්ක් එක දාගෙන ඉන්න පුළුවන්. නමුත් අපි කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙද්දී මාස්ක් දාගෙන ඉන්න බැහැ. නමුත් අපේ වෘත්තිය ගැනත් හිතන්න ඕනෑ. ඒ වගේම ප්‍රේක්ෂකයෝ අත අරින්නත් බැහැ. ඒ නිසා ඒ දේවලුත් කරගෙන යන්න වෙනවා. කොවිඩ් නිසා ජීවිතේ සියලු දේ නවත්තන්නත් බැහැනෙ. කොහොම නමුත් ඉතින් මමත් ඒ දේට ගොදුරු වුණා. ඒ වේදනාව නම් ඇත්තටම තේරුම් කරන්න බැහැ. මම දැනටත් කියන්නෙ තවමත් මේ අවධානම පහව ගිහින් නැහැ. ඒ නිසා පුළුවන් උපරිමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන ඒ උපදෙස් පිළිපැදලා පරිස්සම් වෙන්න කියන දේ මම හැමදෙනාටම කියනවා. මොකද මේ පීඩාකාරී, භයානක තත්ත්වයක්, ශාරීරිකවත්, මානසිකවත් හරිම අපහසුයි. මොකද අද බොහෝ දෙනෙක් අපේ රටෙත් අපෙනුත් අහිමිවෙලා ගියා. වටිනා ජීවිත ගණනක්ම ඉතින් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වැඩ කරමු කියලා මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා හැමෝගෙන්ම. 
සාමාන්‍යයෙන් අපි මේ දවස්වල අහන්න අකමැතිව වචනය ‘‘Positive’’ නේ ඉතින් මේ වචනය අහන්න වෙද්දි මොකද හිතුණේ? 
මුලින්ම අම්මා, තාත්තා, ආච්චි තමයි මතක් වුණේ. මොකද මගේ ළඟින්ම ඉන්නේ පවුලේ ඒ අයනේ. අපිට දෙයක් වුණොත් අපි නොදැන වෙයි. නමුත් අපි නිසා කෙනෙක්ට දෙයක් වුණොත් ඒ දේ දරාගන්නම අමාරු දෙයක්. මුලින්ම ඒ දේ ඔළුවට ආවේ. මට විතරක් නෙමෙයි. ඕනෑම කෙනෙක්ට ඒ දේ දැනෙන හැඟෙන දෙයක්. නමුත් දෙවියන්ගේ පිහිටෙන් ඒ කිසිම කෙනෙකුට එවැනි තත්ත්වයක් ඇතිවුණේ නැහැ. ඒ දේ ඇත්තටම මට සහනයක් වුණා. එතැනින් පසුව මගේ මතකයට ආවේ අපි රූගත කරපු තැන්වල අපි ආශ්‍රිය කරපු පිරිස, රූගත කිරීම් රැස්වීම් වැනි දේවල්වලට අපි සම්බන්ධ වෙනවා. එහිදී අපිට විවිධ චරිත මුණ ගැහෙනවා. විශේෂයෙන්ම රූගත කිරීම් කරන තැන්වලට අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ එනවා. ඉතින් ඒ සියලු දෙනා දැනුම්වත් කරන්න මට ඕනා වුණා. විශේෂයෙන්ම මම පසුගිය කාලයේ මේ රෝගයට ගොදුරු වෙන්නට දින දෙක තුනකට පෙරදි වගේ රූගත කරන ස්ථානයට ආපු පුංචි දරුවො දෙන්නෙක් මාව ඇවිල්ලා බදාගත්තා. ඉතින් මට ඒ මොහොතේ ඔවුන්ව පවා මතකයට ආවා. ඉතින් මට ඒ අයට දැනුම් දෙන්නවත් දුරකථන අංකයක්වත් නැහැනෙ. ඉතින් මම හිතනවා ඒ හැමෝම දැනුවත් වෙන්න ඇති. ඇත්තටම මේ රෝග ලක්ෂණ ආපු මුල් දවස් දෙක තුනේ ලොකු වේදනාවක් මට ආවේ නැහැ. පසුව තමයි හුස්ම ගැනීමේ අපහසුවක් එක්ක රෝහල් ගත වෙන්න වුණේ. දින 10ක් පමණ රෝහලේ ඉන්නත් සිදුවුණා. ඇත්තටම මම වෙනුවෙන් වෛද්‍යවරු ගොඩක් මහන්සි වුණා. නවලෝක රෝහලේ අධිපතිතුමා ජයන්ත ධර්මදාස මහතා ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලය මතක් කරන්න ඕනෑ. මගේ ජීවිතය වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නට.

දැන් නයනතාරා සම්පූර්ණ සුවෙන්ද? 
ඔව්. ඇත්තටම මට දැන් නම් සුවයක් දැනෙනවා. මම කොහොමත් මේ තත්ත්වයට ගොදුරු වුණාට පසුව මාස දෙක තුනක්ම විවේකීව හිටියා. ගෙදරටම වෙලා. මේ වෙද්දිනම් මගේ සුපුරුදු වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. රංගන කටයුතු සහ අධ්‍යාපන කටයුතු. ඒ හැමදේම හරිම පරිස්සමින් කරගෙන යනවා. අනවශ්‍ය විදියට වෙහෙස කරන දේවල් කරන්නේ නැහැ. මගේ වෘත්තිය පැත්තෙන් ගත්තොත් මම සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ කටයුතු එක්ක ඒ සියලුම නාළිකා, නිර්මාණ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු සියලුම දෙනා අපේ පැත්තෙනුත් හිතලා ඒ සියල්ල කතාබහ කරගෙන නිදහසේ වැඩ කරන්න අපිට අවස්ථාව දීලා තියෙනවා. ඒ වෙනුවෙන් ඒ සියලුම දෙනාට මගේ ගෞරවය ස්තූතිය පුද කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම. 

නයනතාරා වික්‍රමආරච්චි කියන්නේ ඉතා ඉක්මනින් ප්‍රේක්ෂක ආදරය ලබා ගනිමින් ජනතා සම්මානය පිට පිටම ජයග්‍රහණය කළ චරිතයක්. ඒ ආදරය නොඅඩුව තියෙනවද? 
ඇත්තටම ඒ ආදරයෙන් නම් අඩුවක් නැහැ. මම අසනීප වුණාමත් බොහෝ දෙනෙක් කතා කළා. මගේ ගෙදරට අම්මාට පවා කතා කරලා මගේ ගැන විමසලා තිබුණා. ඒ ආශිර්වාදය ආදරය මට ලොකුම ශක්තියක් වුණා. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට එද්දි මට මුලින්ම සහය දක්වපු චරිතයක් තමයි වේෂ නිරූපණ ශිල්පී විශ්වනාත් විජේසූරිය මහතා. ඔහු තමයි මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ. ඒ මුල් ආරම්භය නැත්නම් අද මට මේ ආදරය ලබන්න හැකියාව තියෙයිද කියන දේ විශ්වාස කරන්නත් බැහැනෙ. ඒ නිසා ඒ ගෞරවනීය ස්තූතිය ඔහුට පුද කරන්න ඕනෑ, ඉන්පසුව දෙවැනි ඉනිම හරහා අතිශය ආදරයක් ලබාගෙන ජනතා සම්මානයට පාත්‍ර වෙන්න ලැබුණා. ඉතින් ඒ ආදරය ලබාගන්න සලස්වා දුන් හැම දෙනාටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. නයනතාරා වික්‍රමආරච්චි ඒ ආදරය අද ලබන්නේ ඒ සියලුම දෙනා නිසා.

෴ ධනු විජේරත්න
උපුටැ ගැනීම - සැදැල්ල අතිරේකය
ඡායාරූප - මුහුණුපොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom