පුටින්-ජින්පින් හමුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 17, 2021

පුටින්-ජින්පින් හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. එකිනෙකාට ගරු කරමින්, රුසියාව සහ චීනය අතර පවතින මිතුදම් තව තවත් ශක්තිමත් කර ගැනීම රාජ්‍ය නායකයන් දෙදෙනා සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

21 වැනි සියවසේ, රටවල් දෙකක් අතර පවතින 'අන්තර් රාජ්‍ය සහයෝගීතාවට' හොඳම උදාහරණය රුසියාව සහ චීනය යැයි වීඩියෝ හමුව ආරම්භයේ දී රුසියානු ජනපති පුටින්, චීන ජනපති ජින්පින්ට පැවැසීය.

 “එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී, එකිනෙකාගේ අවශ්‍යතාවලට ගරු කරමින්, දේශසිමා අර්බුද නොමැතිව, සදාතනික සාමයක් වෙනුවෙන් රුසියාවත් චීනයත් කැප වී කටයුතු කරනවා. චීනය, රුසියාවේ යහපත ගැනත්, රුසියාව, චීනයේ යහපත ගැනත් සොයා බලනවා. ඒ නිසා අප දෙරට අතරේ හොඳ ශක්තිමත් සහයෝගීතාවක් තිබෙනවා. අසල්වැසි රටවල් අතරේ තිබිය යුතුතේ එයයි' යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එම අවස්ථාවේදී පැහැදිලි කළේය. 

ජනාධිපති පුටින්, චීනයට සහාය පළ කිරීම, බෙහෙවින් අගය කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළේ පුටින්ට ස්තුති කරමිනි. දෙරටේ විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන් ද මෙම වීඩියෝ හමුවට සහභාගී වූ බව පැවැසෙයි. 2020 පෙබරවාරියේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් වර්ජනය කර තිබේ. එය රාජ්‍ය තාන්ත්‍රිකමය වර්ජනයකි. 

එයින් අදහස් වන්නේ ක්‍රීඩා සඳහා සහභාගී වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගී වීමක් හෝ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනයක් සිදු වන්නේ නැත. චීන ජනාධිපති ෂී ජින්පින් හමුවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කළේ තමන් 2020 බෙයිජීං නුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වන බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වන බවත්ය.

ඇමෙරිකාව, කැනඩාව ආදී රටවල් ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කරන්නේ චීනය මානව හිමිකම් කඩකරනවා යැයි චෝදනා නගමිනි. එම චෝදනා එල්ල වී ඇත්තේ චීන රජය, එරට උයිගුර් මුස්ලිම් වැසියන්ට කෙණෙහිලිකම් කිරීම සම්බන්ධයෙනි. 

ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙක වෙන් වී ඇත්තේ ඇමෙරිකාවට පක්ෂ බටහිර රටවල් සහ රුසියාවට පක්ෂ නැගෙනහිර රටවල් ලෙසය. මේ වනවිට ඇමෙරිකාව සහ බටහිර රටවල්, රුසියාව සමඟ අර්බුදයකට මුල පුරා සිටී. ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් යැයි චෝදනා නගමිනි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom