Dubai Expo ශ්‍රී ලංකාවේ දිනය දා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 5, 2022

Dubai Expo ශ්‍රී ලංකාවේ දිනය දා

ශ්‍රී ලංකාවේ ජල සම්පත සුවිශේෂ බවත්, එය ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතාම වැදගත් බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අහමඩ් අලිසයික් මහතා ඩුබායිහිදී පසුගිය 3 වැනිදා පැවසීය. 

එක්සත් අරාබි එමිර් රාජ්‍යය ,ශ්‍රී ලංකාවට මැදපෙරදිග කලාපයේ සිටින විශාලතම වෙළෙඳ සහකරුවා බව ද ඔහු සඳහන් කළේය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු ඇමතිවරයා මේ බව සඳහන් කළේ ඩුබායි හි පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ජාතික දින උත්සවයට සහභාගි වෙමිනි. 

එම උත්සවය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශන භූමියේ දී පැවැත්විණි . චන්න උපුලි කලායතනය ඉදිරිපත් කළ සස්කෘතික අංගවලින් උළෙල විචිත්‍රවත් විය. 

උත්සව සභාව ඇමතූ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු ඇමති අහමඩ් අලිසයික් මහතා ශ්‍රී ලංකාව සතු අනර්ඝ සම්පත් සහ ඒවා අනුවර්තනය කිරීමට ඇති හැකියාවත්, අලුත් සොයා ගැනීම් කිරීමට දක්වන උනන්දුවත් ලංකාවේ ප්‍රදර්ශන කුටියට පැමිණි විට දැකගත හැකි බව ද සඳහන් කළේය. 
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් මෙන්ම, දිගුකාලීන මිත්‍රත්වය ඉතා වැදගත් බව ද ඔහු කීවේය ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනක් පමණ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සේවය කරන බව කී හෙතෙම ඔවුන් එමිර් රාජ්‍යයේ සංවර්ධනයට දක්වන දායකත්වය බෙහෙවින් අගය කරන බවද සඳහන් කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහයෝගය ශ්‍රී ලංකාවට පැති ගණනාවකින් ලැබෙන බව කි ඔහු ආයෝජනය, බලශක්තිය ,ජාත්‍යන්තර තලයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ඒ අතරින් ප්‍රමුඛ වන බවද සඳහන් කළේය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දිගුකාලීනව පවතින උණුසුම් සහ අන්‍යොන්‍ය සහයෝගිතාව ,එම රාජ්‍ය අමාත්‍යයාගේ කතාවෙන් පැහැදිලි ව පෙනෙන බව ද කීවේය. 

දෙරට අතර පුරා අවුරුදු 40ක ශක්තිමත් සම්බන්ධතාවක් පවතින බවත්, වසර 50 ක ඉතිහාසය තුල එමිර් රාජ්‍යය ලබාගත් අනර්ඝ ජයග්‍රහණ පිළිබඳව, ශ්‍රී ලංකාව එමිර් රාජ්‍යය සමග සතුට බෙදා ගන්නා බවත්, ඔහු සදහන් කළේය. 

ඉකුත් මාසයේ පැවති එමිර් රාජ්‍යයේ පනස් වැනි සංවත්සර උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගි වූ බව සිහිපත් කළ මහාචාර්ය පිරිස් මහතා දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් වීම ගැන සතුටු වන බව ද සඳහන් කළේය. 

ජල සම්පත යොදාගෙන නිල් ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානය යොමු කැර ඇතැයි ද මහාචාර්ය පීරිස් මහතා කීවේය .එහිදී ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇතැයි කී ඇමතිවරයා ඉන්දියානු සාගර වටද්දර සංවිධානයේ උප සභාපති ධුරය දරන්නේද ශ්‍රී ලංකා බව සඳහන් කළේය. 

අභියෝග අවස්ථාවක් කරගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත්, එවැනි පසුබිමක ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට සම්භන්ධ වීමට හැකි වීම වඩාත් වාසිදායක බවත් ඔහු සඳහන් කළේය. සාම්ප්‍රදායික මාර්ගවල නොසිට, නවෝත්පාදන ලෝකයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබෙන බව අමාත්‍යවරයා කීවේය. 

මේ අතර ආයුර්වේදය, ථෙරවාදී බුදු දහම, සිංහරාජය වැනි වැසි වනාන්තර , අගය එකතු කළ නිෂ්පාදන ආදිය පිළිබඳවද ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කරගෙන යන බවද ඔහු කීවේය. ශ්‍රී ලංකාවේ කුරුදු නිෂ්පාදනවල ගුණත්වය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු ද නැති බව කී ඇමතිවරයා ලෝකයේ කුරුදුවලින් 85% ක්ම සපයන්නෙ ශ්‍රී ලංකාව බව පැවසීය. 
අරාබි එමීර් රාජ්‍යයට ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව උදව් කළ බවද ඇමතිවරයා සිහිපත් කළේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.

උත්සවයෙන් අනතුරුව, එමීර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අලිසයික් ව්දේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග යන් මහත්වරු එක්ස්පෝ ප්‍රදර්ශන භුමියේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නැරඹීමටද පැමිණියහ.

෴ අජන්ත කුමාර අගලකඩ - ඩුබායි සිට

Classified_Ad

Classified_Ad_News_Bottom