කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 16, 2022

කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙයි

“රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සවස බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණ. 

විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේදී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ ක්ෂේත්‍ර 20කට අදාළ ස්වර්ණ, රජත සහ ලෝකඩ සම්මාන මෙහිදී පිරිනැමිණ. 

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්‍රයේ කර්මාන්ත විශිෂ්ටයන් තිදෙනෙක් සහ රාජ්‍ය අංශයේ සමාගම් තුනක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබී ය. 

ජනාධිපතිතුමා බලයට පත් කළේ අපේකම රැකගනිමින් යන ගමනක් වෙනුවෙන් විශ්වාසය තබමින් බවත් ඉදිරියටත් ඒ විශ්වාසය මත කටයුතු කරමින් දේශීය කර්මාන්ත නඟාසිටුවීමේ වගකීම රජය සතු බව පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, දේශීය කර්මාන්ත අන් කවරදාටත් වඩා වර්තමානයේ පිබිදීමට ලක් වෙමින් තිබෙන බව පැවසීය. 

පවතින අභියෝගය ආශිර්වාදයක් ව දේශීය කර්මාන්තකරුවා කරා පැමිණ ඇති බවත් ව්‍යවසායකත්වයක් ගොඩනැඟෙමින් දේශීය කර්මාන්ත ඉදිරියට යන ආර්ථිකයකින් සමස්ත ගැටලු නිරාකරණය කර ගත හැකි බවත් කර්මාන්ත ඇමතිවරයා පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කළේය.

පළාත් නවය ආවරණය වන පරිදි පවත්වනු ලබන විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ තරගාවලියෙන් සහ 'කර්මාන්ත ශ්‍රී ලංකා - 2022' ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ නිර්මාණ අතුරින් විශිෂ්ටයන් 117දෙනෙකු සම්මානලාභීන් ලෙස තෝරා ගෙන තිබිණ. 

අමාත්‍යාංශ ලේකම් දයා රත්නායක, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු සහ සම්මානලාභීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom