එලිසබත් රැජින ගැන බියක් ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 12, 2022

එලිසබත් රැජින ගැන බියක් !

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ දෙවැනි එලිසබත් මහ රැජින සම්බන්ධයෙන් ද බියක් හටගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඒ, ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමට පෙර චාල්ස් කුමරු එලිසබත් මවු රැජින හමුවුණු බැවිනි. 

95 හැවිරිදි එලිසබත් මවු රැජින බ්‍රිතාන්‍ය රැජින ලෙස කිරුළ දරා වසර 70 ක් ගතවීම නිමිත්තෙන්, පසුගිය 8 වැනිදා වින්ඩ්සර් මාලිගයේ විශේෂ උත්සවයක් පැවැත්විණි. චාල්ස් කුමරු මෙන්ම චාල්ස් කුමරුන්ගේ බිරිඳ ‘කෝන්වෝල් ආදිපාදවරිය’ යන ගෞරව නාමයෙන් හැඳින්වෙන ඔහුගේ බිරිඳ කැමිලා පාකර් ද මෙම අවස්ථාවට සහභාගී වූවාය. 

එලිසබත් මහ රැජින ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කළේ ද නැද්ද යන්න මෙතෙක් වාර්තා වී නැත. බකිංහැම් මාලිගය පසුගිය 11 වැනිදා නිවේදනය කළේ මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිදු වෙනසක් නොමැති බවය. එලිසබත් මහ රැජින පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණක් නොව, බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබේ. 

බකිංහැම් මාලිගයට අනුව මහ රැජින පළමු ‘කොවිඩ් 19’ එන්නත ලබා ගෙන ඇත්තේ 2021 ජනවාරියේය. එලිසබත් මහ රැජින දෙවැනි එන්නත ලබාගෙන ඇත්තේ මාර්තු මාසයේය. ඇය බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බවට පත් වූයේ දෙවැනි වරටය. 

කුමරුන් ආසාදිතයකු බවත්, වෛද්‍ය උපදෙස් අනුව හුදෙකලා වී සිටින බවත් නිවේදනය කළේ ක්ලැරන්ස් හවුස් මන්දිරයයි. ‘වේල්සයේ කුමරු’ යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන චාල්ස් කුමරුන්ගේ නිවහන වන්නේ ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරයයි. 

චාල්ස් කුමරු පළමු වරට ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැණුනේ පසුගිය 2020 මාර්තු මාසයේදීය. එම අවස්ථාවේදී ද කුමරු ස්වයං නිරෝධායනයට ලක්වුණු අතර, රෝහල්ගතවීමකින් තොරව වයිරසය පරාජය කළේය. 

දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනෙද්දී චාල්ස් කුමරු ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව බූස්ටර් එන්නත ද ලබා ගෙන ඇතැයි ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ. ආසාදිතයකු බව තහවුරු වීමට පෙර දින චාල්ස් කුමරු ‘බ්‍රිතාන්‍ය ආසියානු පදනම’ සංවිධානය කළ විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගී විය. 

ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරිය (ඇමැතිනිය) ප්‍රීති පටෙල් සහ බ්‍රිතාන්‍ය මුදල් ඇමැති රිෂික් සුනාක් සහ ඔහුගේ බිරිඳ ද මෙම උත්සවයට සහභාගී වූවා පමණක් නොව, ඔවුන් චාල්ස් කුමරුන්ට බොහොම සමීපවී සිටින අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබේ. 

චාල්ස් කුමරු පමණක් නොව බිරිඳ කැමිලා පාකර් ද පළමු සහ දෙවැනි එන්නත් මෙන්ම බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබේ. චාල්ස් කුමරුන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය. ඒ, ට්විටර් පණිවුඩයක් හරහාය. චාල්ස් කුමරු ආසාදිතයකු යැයි හඳුනා ගැනීම සිදුවූයේ අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණයකිනි. 

ස්වයං නිරෝධායනයට ලක්වුණු කුමරුන් සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා වේ. 2020 වසරේ මාර්තු මාසයේ චාල්ස් කුමරු ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැනීමෙන් පසු අප්‍රේල් මාසයේ චාල්ස් කුමරුන්ගේ වැඩිමල් පුතු විලියම් කුමරු ද ආසාදිතයකු බවට පත් විය. 
මේ අතර, ‘කොවිඩ් 19’ වසංගතයට සමාජ තත්ත්වය අදාල නැතැයි යළිත් වරක් පසක් කර දෙමින්, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු පමණක් නොව ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රට් රැජින සහ ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු ‘කොවිඩ් 19’ ආසාදිතයන් බවට පත් වී සිටින බව වාර්තා වේ. 

ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය 9 වැනිදාය. 54 හැවිරිදි රජු සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පසුවන බවත්, ඔහු දින 7 ක් නිරෝධායනයට යොමු වන බවත් ස්පාඤ්ඤ රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 

පිලිප් රජු පළමු ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාව ලබා ගත්තේ 2021 මැයි මාසයේය. පිලිප් රජතුමා බූස්ටර් එන්නත ලබා ගෙන තිබෙනවාද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ලැටීසියා රැජිනට හෝ ඔවුන් සමඟ පදිංචිව සිටින රජුගේ බාල දියණිය ‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බව ද තහවුරු වී තිබේ. රජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබේ. 

ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රට් රැජින ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය 9 වැනිදාය. 81 හැවිරිදි රැජින බූස්ටර් එන්නත ලබා ගත්තේ පසුගිය නොවැම්බරයේය. ඇය ද සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බව ඩෙන්මාර්ක රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom