අත්නැති ඩයිනසෝරයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

May 22, 2022

අත්නැති ඩයිනසෝරයා

'ඩයිනසෝර්' යනු බිහිසුණු උරගයා යන අදහසය. ඒත් ඩයිනසෝරයන් උරගයන් නොව, වඩාත් සමීප කුරුල්ලන්ට බව විද්‍යාඥයන්ගේ අදහසය. ඒ, පොසිලකරණයට ලක්වුණු ඩයිනසෝර අස්ථි කුරුල්ලන්ගේ අස්ථිවලට බෙහෙවින් සමාන වීම නිසාය. 

රැප්ටරයන්, ටී රෙක්ස් ආදී පසුපස ගාත්‍රා එසේත් නැතිනම් කකුල්වලින් ඇවිද්ද ඩයිනසෝරයන් බිහිසුණු විලෝපිකයන් ලෙස සැලකෙයි. රැප්ටරයන්ට දිගු ක්‍රියාකාරී ඉදිරිපස ගාත්‍රා එසේත් නැතිනම් අත් තිබුණු අතර තියුණු නියවලින් ද ඒවා සමන්විත විය. රැප්ටරයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, 'ඩයිනසෝර රජ්ජුරුවෝ' යන නමින් හැඳින්වෙන ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ට දිගු අත් නොතිබුණි. 

ටී රෙක්ස් ට තිබුණේ වකුටු වුණු කුඩා අත්ය. ඒවායින් වැඩි ප්‍රයෝජනයක් ද නැත. සතුරන් පහර දෙද්දී අත් සපා කෑමෙන් ආරක්ෂා වීමට මෙසේ කුඩාවට බිහිවන්නට ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය. මේ කතාව රැප්ටරයන් ගැන හෝ ටී රෙක්ස් ගැන හෝ නොවෙයි; ටී රෙක්ස් වැනි අත් නැති ඩයිනසෝරයකු ගැනය. අත් නැති ඩයිනසෝරයකු යනු බිහිසුණු සත්වයකු නොවේ යැයි ඔබට සිතේවි. ඒත් එය වැරදිය. 

අත් නැති වුවත්, මේ දැවැන්ත ඩයිනසෝරයා ද ටී රෙක්ස් තරමට බිහිසුණු දඩයක්කරුවෙකි. විද්‍යාඥයන් මෙම අත් නැති ඩයිනසෝරයා නම් කර ඇත්තේ 'ගමේසියා ඕකාචෙයි' යනුවෙනි. මේ ඩයිනසෝරයා, අබෙලාසෝරස් නමැති ඩයිනසෝර විශේෂයට අයත් එකෙකි. ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන ආජන්ටිනාවේ කළ කැණීම්වලදී 'ගුමෙසියා ඔචෝආයි' පොසිල අස්ථි හමුවී තිබේ. 

පොසිල අස්ථි සොයමින් කැණීම් කළ බව පැවැසෙන්නේ‍ ලන්ඩන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂකයන් කණ්ඩායමකි. ප්‍රමාණයෙන් විශාල එහෙත්, ටී රෙක්ස් තරම් උස නැති මෙම නව ඩයිනසෝරයා වසර මිලියන 70 කට පෙර මිහිමත දඩයම් කළ දක්ෂ දඩයක්කාරයකු යැයි විද්‍යාඥ කණ්ඩායම විශ්වාස කරයි. අබෙලාසෝරස් යනුවෙන් හැඳින්වෙන ඩයිනසෝර විශේෂයට අයත් සෙසු ඩයිනසෝර විශේෂවලට උපතින්ම ඇත්තේ ප්‍රමාණයෙන් කුඩා අත් පමණි. 

මොවුන් ගොදුරු අල්ලා ගැනීම කළේ ප්‍රබල හිස සහ ශක්තිමත් හකු ආධාරයෙනි‍ අබෙලාසෝරස් ඩයිනසෝර විශේෂය අයත් ඩයිනසෝර පවුල හැඳින්වෙන්නේ අබෙලාසොරිඩේ යනුවෙනි. 

'අත් නැති මේ ඩයිනසෝරයා අලුත් විශේෂයක්. අපට මීට පෙර අත් නැති ඩයිනසෝරයන් හමුවී තිබුණත් මේ ඩයිනසෝරයාගේ ලක්ෂණ වෙනස්. මේ සත්වයාට පමණක් ආවේණික යැයි විශ්වාස කරන ලක්ෂණ කීපයක් අපට දකින්න ලැබුණා. අපට ඩයිනසෝරයන් ගැන නොදන්න දේ දැනගන්න හැකිවුණා' යැයි ලන්ඩන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥවරියක වන මහාචාර්ය අංජලී ගොස්වාමී පැහැදිලි කරයි. 

 විද්‍යාඥ කණ්ඩායමට කැණීම් කරද්දී හමුවී ඇත්තේ 'ගමේසියා ඕකාචෙයි' ඩයිනසෝරයාගේ එක් හිස් කබලක් පමණි. විද්‍යාඥයන් නව ඩයිනසෝරයකු ලෙස 'ගමේසියා ඕකාචෙයි' හඳුනා ගැනීම කළේ එම හිස් කබල ආධාරයෙනි. ආජන්ටිනාවේ මෙතෙක් සිදු කළ කැණීම්වලින් හමුවුණු එකම 'ගමේසියා ඕකාචෙයි' හිස් කබල ලෙස සැලකෙන්නේ ද මෙයයි. 

සෙසු අබෙලාසෝරස් ඩයිනසෝරයන් මෙන් නොව 'ගමේසියා ඕකාචෙයි'ගේ මොළය ප්‍රමාණයෙන් කුඩා එකක් බව හිස් කබල පරීක්ෂා කිරීමේ දී විද්‍යාඥයන්ට පැහැදිලි විය. ඒ අනුව, මෙතෙක් හමුවුණු කුඩාම මොළයක් ඇති අබෙලාසෝරස් ඩයිනසෝරයා ලෙස සැලකෙන්නේ ද 'ගමේසියා ඕකාචෙයි' ය. අබෙලාසොරිඩේ, තෙරෝපෝඩ් ඩයිනසෝර විශේෂයකි. 

මොවුන් (හිසේ සිට වල්ගයේ කෙළවර දක්වා) අඩි 16 ත් 30 දිගය. අතීතයේ පිහිටි, විද්‍යාඥයන් පැටගෝනියා යනුවෙන් නම් කර ඇති මහද්වීපයේත්, ගොන්ඩ්වානා මහද්වීපයේත් මෙම ඩයිනසෝර විශේෂය ජීවත් වූ බව පැවැසෙයි. ගොන්ඩ්වානා මහද්වීපය අද කැඩී වෙන්වී ගොසිනි. 

අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඇන්ටාක්ටිකාව, ඉන්දීය අයත් උප මහද්වීපය සහ අරාබි අර්ධද්වීපය අතීතයේ ගොන්ඩ්වානා මහද්වීපයට අයත් විය. පොදුවේ පෙනුමින් අබෙලාසොරිඩේ ඩයිනසෝරයන් ටී රෙක්ස්ට සමාන වුවත්, වෙනස්කම් ද බොහොමයකි. 

ටී රෙක්ස් සහ ටී රෙක්ස් පවුලට අයත් ඩයිනසෝරයන් උතුරු ඇමෙරිකාවේ, ආසියාවේ සිය ආධිපත්‍යය පතුරුවද්දී, අබෙලාසොරිඩේ ඩයිනසෝරයන් ඔවුන්ගේ අධිපත්‍යය පැතුරුවේ පැටගෝනියා මහද්වීපයේ සහ වර්තමානයේ දකුණු ඇමෙරිකාවට අයත් ප්‍රදේශවලය. ඩයිනසෝරයන් මිහිමත රජ කළේ අවුරුදු මිලියන 66 කට පෙරය. උන් වඳවී යන්න පටන් ගත්තේ හිටිහැටියේය. මේ මහා වඳවී යෑම හැඳින්වෙන්නේ 'ක්‍රිටෛසීය තෘතීය' වඳවී යෑම යනුවෙනි. 

ඊට හේතුව වඳවී යෑම සිදුවූයේ 'ක්‍රිටෛසීය' සහ 'තෘතීය' අවදියේදී වීමය. විද්‍යාඥයන්ගේ මුල් අදහස වූයේ ආහාර අර්බුදයකට ලක්වීමෙන් හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් ඩයිනසෝරයන් වඳවී යන්නට ඇති බවය. ඒත් 1980 දශකයේ දී 'ඉරේඩියම්' ස්ථර හමුවීමට භූ විද්‍යාඥයන් සමත් වීම සියල්ල වෙනස් කළේය. 'ඉරේඩියම්' පෘථිවියේ දකින්න නොලැබෙන දෙයකි. 

පෘථිවියේ දකින්න නොලැබුණත් ඉරිඩියම් විශ්වයේ පාවෙන ග්‍රහකවලවල බහුලව අඩංගු වෙයි. කාල නිර්ණය අනුව යෝධ ග්‍රහකයක් පෘථිවියේ හැපීම නිසා ඩයිනසෝරයන්ගේ වඳ වීම සිදුවුණු බව විද්‍යාඥයන්ට අවබෝධ විය. 

යෝධ ග්‍රහකය පෘථිවියේ හැපුණු තැන නිර්මාණය වුණු මහා ගැඹුරු ආවාටය මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයේ ඉහළින් දකින්න ලැබේ. මෙම ආවාටය හැඳින්වෙන්නේ 'චික්සුලුබ්' යනුවෙනි. ආවාටයේ දිග පළල සහ ගැඹුර අනුව විද්‍යාඥයන් පවසන්නේ, එය පෘථිවියේ හැපීමෙන් සිදුවුණු බලපෑම මුළු පෘථිවියටම දැනෙන්න ඇති බවය. 

෴ උපුටා ගැනීම - Daily Mail

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad