පුටින් ඉරානයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 20, 2022

පුටින් ඉරානයේ

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරානයේ තෙහෙරාන් අගනුවර බලා පැමිණියේය. සිරියානු අර්බුදය විසඳීමට රුසියාව, තුර්කිය සහ ඉරානය මැදිහත් වී සිටින අතර, රුසියන් ජනාධිපති පුටින් ඉරානය බලා පැමිණියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවී සාකච්ඡා පැවැත්වීමටය. 

සිරියාව සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට පෙර, රුසියන් ජනාධිපති පුටින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී හමුවිය. එහිදී යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්විණි. නේටෝ සංවිධානය රුසියාවට ඉරානයට පොදු තර්ජනයක් යැයි ඉරාන උත්තරීතර නායකයා මෙම හමුවේ දී අවධාරණය කළේය. එම හමුවෙන් පසු පුටින් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතරේත්, පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේත් වෙන වෙනම සාකච්ඡා පැවැත්වූයේ ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙනි. 

යුක්රේන අර්බුදය සහ කළු මුහුද හරහා යුක්රේනයේ තිරිගු අපනයන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ. රුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් අනුව, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය පළ කරමින්, එහි සාමාජිකත්වය ඉල්ලීමත් සමඟය. නේටෝ යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් එක් වී පිහිටුවාගත් යුද සන්ධානයයි. 

යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන්, ජනාධිපති පුටින් ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික බටහිර රටවල උදහසට ලක් වී ඇත. ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොමයක් පුටින්ට සහ රුසියාවට සම්බාධක පනාව තිබේ. බටහිර රටවල් පමණක් නොව, ජපානය, ඕස්ට්‍රේලියාව දකුණු කොරියාව ආදී රටවල් ද රුසියාව සමඟ ඇයිහොඳයිකම් නවත්වා ඇත. ජනාධිපති පුටින්, ඉරානය බලා පැමිණියේ තමන්ට හිතවත් තමන්ට සහාය දක්වන මිතුරන් ජාත්‍යන්තරයේ සිටින බව ලෝකයාට පෙන්වමිනි. යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියන් ජනාධිපති විදෙස් සංචාරයන නියැලුණු දෙවැනි අවස්ථාව මෙයයි. 

තුර්කිය ද නේටෝ සාමාජික රාජ්‍යයකි. කෙසේ නමුත් රුසියාවට හෝ පුටින් ට හෝ සම්බාධක පැනැවීමට තුර්කිය විරෝධය දක්වයි. රුසියන් යුක්රේන අර්බුදයේ දී තුර්කි ජනාධිපති එර්දොවාන් උත්සාහ ගනිමින් සිටින්නේ මැදහත්කරුවකු ලෙස අර්බුදය විසඳා දීමටය. එසේ වුවත්, තුර්කියේ හමුදා සහාය හිමිවන්නේ යුක්රේන හමුදාවටය. වසර 11 ක් තිස්සේ ඔඩුදුවන සිරියානු අර්බුදයේ දී, රුසියාව සහ ඉරානය සහාය දක්වන්නේ, සිරියානු ජනාධිපති අසාද්ගේ රජයටය. සිරියාවේ පවතින්නේ ෂියා මුස්ලිම් රජයක් වන අතර, ඊට සහාය දක්වන ඉරානය ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. 

ඉරානය සිරියානු රජයට පක්ෂව කටයුතු කරන්නේ එබැවිනි. රුසියාවේ හමුදා කඳවුරක් සිරියාවේ ඇති අතර, රුසියාව සිරියානු රජයට සහාය දක්වන්නේ ඒ නිසාය. තුර්කිය සහාය පළ කරන්නේ සිරියාවේ නීත්‍යාණුකූලව පිළිගත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට ආයුධ දෙමින් ඔවුන් අසාද්ගේ රජයට එරෙහිව උසි ගැන්වීමත් සමඟ සිරියානු සිවිල් යුද්ධය ආරම්භ විය. 

දශකයකට වැඩි කාලයක් සිරියාව අස්ථාවර කරමින් ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි කළේ මෙම සිවිල් යුද්ධයයි. සිරියාවෙන් සහ ඉරාකයෙන් ආරම්භ වුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ලොවට තර්ජනයක් වූයේ ද සිවිල් යුද්ධය අතරතුරේ ඇමෙරිකාවෙන් සහ ප්‍රංශයෙන් ලැබුණු අවි ආයුධවලිනි. අයි.එස්. ත්‍රස්තවාදීන් පොදු සතුරා වූ බැවින්, රුසියාව, ඉරානය, තුර්කිය සිරියානු රජයට සහාය පළ කරමින් අයි.එස්. සංවිධානය අඩපණ කිරීමට සටන් කළේය. ඇමෙරිකාව ද අයි.එස්. සංවිධානයට පහර දුන්නේය. අයි.එස්. සංවිධානය අඩපණ වීමෙන් පසු රුසියාව, ඉරානය යළි සිරියානු රජයටත්, තුර්කිය සිරියානු විපක්ෂයටත් සහාය පළ කිරීම අරඹා තිබේ. 

ඊයේ (19) රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ තුර්කි ජනාධිපති එර්දොවාන් හමුවී සිරියාවට සාමය උදා කරදීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. මෙවැනි සාකච්ඡා වට කීපයක් මීට පෙර ද රුසියාව, ඉරානය සහ තුර්කිය අතරේ පවත්වා තිබේ. සිරියාව තුර්කියට මායිම් වෙයි. තුර්කි රජය විසින් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන 'ජනතා ආරක්ෂක ඒකකය' යන නමින් හැඳින්වෙන කුර්දි සන්නද්ධ කණ්ඩායම් සිරියානු තුර්කි දේශසීමාවේ ක්‍රියාත්මක වෙයි. 

මෙම කණ්ඩායමට ආධාර කරන දේශපාලන කණ්ඩායම් පවා තුර්තියේ තහනම් කර තිබේ. මෙම සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් තමන් නව හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බව තුර්කි ජනාධිපතිවරයා රුසියන් ජනාධිපති පුටින්ට සහ ඉරාන ජනාධිපති රයිසිට පවසා තිබේ. කෙසේ නමුත් මෙම හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති රයිසී සිය කනස්සල්ල පළ කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom