රාහුල් හිරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 24, 2023

රාහුල් හිරේ

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් හිමි විය. ඒ, මැතිවරණ රැළියකදී ‘මෝදි වාසගම ඇති හැමෝම හොරු’ යනුවෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයට වරදකරු වීමෙන් පසුවය. 

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වරදකරු කළේ ගුජරාටයේ සුරාට් අධිකරණයයි. රාහුල් ගාන්ධි එම ප්‍රසිද්ධ ප්‍රකාශය කර ඇත්තේ, 2019 වසරේ මැතිවරණ රැළියකදීය. 

රාහුල්ගේ එම ප්‍රකාශයට, එරෙහිව එවකට ගුජරාට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබුණි. පුර්නේෂ් මෝදි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කිසිදු ඥාති සම්බන්ධයක් නැත. 

රාහුල් ගාන්ධිගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දුන් අතර, ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම දින 30 ක කාලයකට අත්හිටුවා තිබේ. 

2019 වසරේ දී රාහුල් ගාන්ධි, මෙසේ ‘මෝදි’ වාසගම විචෙනය කළේ නිරව් මෝදි සහ ලලිත් මෝදි සිහිපත් කරමිනි. නිරව් මෝදි සහ ලලිත් මෝදි ව්‍යාපාරිකයන් වන අතර ඔවුන්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. නිරව් මෝදි සහ ලලිත් මෝදි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සම්බන්ධයක් නොමැත. 

52 හැවිරිදි රාහුල් ගාන්ධි අවිවාහකය. රාහුල් ගාන්ධි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී ජවහර්ලාල් නේරුගේ මී මුණුපුරාය. 

ජවහර්ලාල් නේරුගේ බිරිඳ කමලා නේරුය. මොවුන්ගේ දියණිය ඉන්දිරාය. ඉන්දිරා විවාහ වූයේ ව්‍යාපාරික ෆෙරෝස් ගාන්ධි සමඟය. ෆෙරෝස් ගාන්ධි සහ මහත්මා ගාන්ධි තුමන් අතර කිසිදු සම්බන්ධයක් නැත. ඉන්පසු ඉන්දිරා ගාන්ධි වුණු ඇය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූවාය. ඉන්දිරා ගාන්ධිගේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු රජිව් ගාන්ධිය. 

රජිව් ගාන්ධි යනු හිටපු අග්‍රාමාත්‍යවරියක වූ ඉන්දිරා ගාන්ධිගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජිව් ගාන්ධි ඝාතනය වූයේ එල්ටීටීඊ බෝම්බකාරියක අතිනි. රාහුල් ගාන්ධි, රජිව් ගාන්ධිගේ සහ සෝනියා ගාන්ධිගේ පුත්‍රයාය. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය වන කෙංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාව ලෙස කටයුතු කරන්නේ සෝනියාය. රාහුල් ගාන්ධි පක්ෂයට නායකත්වය දෙයි.

කොංග්‍රස් පක්ෂය පෙන්වා දී ඇත්තේ, සුරාට් අධිකරණය රාහුල් ගාන්ධිට ලබා දුන් තීන්දුව ‘දේශපාලන පළිගැනීමක්’ ලෙසය. එවැනි නඩු තීන්දුවලින් රාහුල් ගාන්ධි යටපත් කළ නොහැකි යැයි කොංග්‍රස් පක්ෂය වැඩි දුරටත් පැහැදිලි කර ඇත. 

මේ අතර, වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය ද අහෝසි වී තිබේ. ලොක් සභාවේ නිවේදනයත් සමඟ ඉන්දීය මැතිවරණ කොමිසමට රාහුල් ගාන්ධිගේ ආසනය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමට විශේෂ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබී ඇතැයි ද පැවැසෙයි. 

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102 (1) (ඊ) වගන්තියේ විධිවිධාන අනුව සහ 1951 ඉන්දීය මහජන නියෝජන පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව, රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි ලොක් සභා ලේකම් කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom