
අලුත් ඇඳුම් අදින්න සහ අලුත් අලුත් විලාසිතා සොයමින් ෂොපින් කරන්න කවුද අකමැති. වයස් භේදයකින් තොරව ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම මෙය පොදු කරුණකි. ඒත් ෂොපින් කරන්න ලස්සනට ඉන්න වැඩියෙන්ම කැමැති තරුණ ගෑනු ළමයි.
මෙම කාරණාව සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මකව බලද්දී, මනෝවිද්‍යාඥයෝ මේ ගැන අපූරු පැහැදිලි කිරීමක් කරති. ෂොපින් කිරීමේ සතුට (Retail Therapy) ඔබේ විඩාව, මානසික ආතතිය සැණින් නැති කර දැමීමට හේතුවක් වන බවත්, ෂොපින් කිරීම ඔබ සතුටින් තැබීමට හේතුවක් වන බවත් එම පැහැදිලි කිරීමය.
ඒත් අමතක කරන්න හොඳ නැහැ, ඔබේ පසුම්බියේ තරම දැනගෙන ෂොපින් කරන්න කල්පනාකාරී වෙන්නත් ඕනෑ.
ජර්නල් ඔෆ් කොන්සියුමර් සයිකෝලොජි (Journal of Consumer Psychology) විද්‍යා සඟරාවේ ලිපියක සඳහන් වන්නේ, අලුත් ඇඳුම් මිලදී ගැනීම මඟින් අපේ මානසික ආතතිය සැලකිය යුතු ලෙස අඩු කර, තාවකාලික නමුත් ප්‍රබල සතුටක් ලබා දෙන බවය.
විද්‍යාඥයන් පැහැදිලි කරන අන්දමට, මෙයට ප්‍රධානම හේතුව වන්නේ ඇඳුම් පැළඳුම් හරහා අපට අපේ අනන්‍යතාවය සහ ස්වයං-ප්‍රකාශනය (Self-expression) ලෝකයට පෙන්වීමට හැකි වීමය.
අප කැමතිම විලාසිතාවක අලුත් ඇඳුමක් ඇන්දහම අපේ ආත්ම විශ්වාසය ඉබේම ඉහළ යයි. මනෝවිද්‍යාවේදී මෙයට Enclothed Cognition ලෙස හඳුන්වයි.
සරලව පැහැදිලි කළොත් එයින් අදහස් වන්නේ අප අඳින ඇඳුම අනුව අපේ සිතන පතන විදිහ සහ හැසිරීම වෙනස් වන බවය. අලුත් ඇඳුමක් අපට ලබා දෙන්නේ අලුත් ආරම්භයක් පිළිබඳ හැඟීමකි. ජීවිතයේ ඒකාකාරී බවින් මිදී, තමන්ව අලුත් කර ගැනීමට ලැබෙන මේ අවස්ථාව මොළය හඳුනාගන්නේ ඉතාම ධනාත්මක අත්දැකීමක් විදිහටය.
අප කැමති ඇඳුමක් තෝරාගෙන, එය මිලදී ගන්නා මොහොතේ අපේ මොළයෙන් ඩෝපමින් හෙවත් සතුටු හෝමෝන මුදා හැරීමක් සිදුවෙයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මිලදී ගැනීමක් සිදු කිරීමටත් වඩා, ගැළපෙන ඇඳුම් සොයමින්, ඒවා තෝරද්දී පවා මොළයේ ඩොපමින් සක්‍රීය වීම සිදුවන බවය. එමඟින් ක්ෂණිකව මනෝභාවය යහපත් අතට හැරෙයි.
ඩෝපමින් (Dopamine) ගැන තවත් පැහැදිලි කළොත්, ඩෝපමින් අප මොළයෙන් ශ්‍රාවය වන ඉතාමත් වැදගත් රසායනික ද්‍රව්‍යයකි. සිරුර ඇතුළේ පණිවිඩ හුවමාරු කරන ස්නායු සම්ප්‍රේෂකයක් ලෙස මෙය ක්‍රියාකරයි.
අලුත් ඇඳුම්වලට පමණක් නොව, ආස කරන කෑමක් කද්දී, යම් ජයග්‍රහණයක් ලබද්දී, අපි අපේ ඉලක්ක කරා ළං වෙද්දී දැනෙන ඒ උපරිම සතුට සහ තෘප්තිය ඇති කරන්නේ ඩෝපමින් මඟිනි. යම් වැඩක් කරන්න අපට ඇති වන උද්‍යෝගය, කැපවීම සහ අවධානය පවත්වා ගන්නත් ඩෝපමින් උපකාරී වෙයි. සිරුරේ ඩෝපමින් මට්ටම ස්වාභාවිකව සහ සමබරව පවත්වා ගන්න නම් හොඳ නින්දක් ලැබීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ ප්‍රියජනක විනෝදාංශවල නිරත වීම ඉතාමත් වැදගත් බව ද කිව යුතුය.
ලුසිත ජයමාන්න
Brain Maze ඇසුරිනි