ශ්රි ලංකාවේ නකල්ස් කදුකරයේ සිසිල්, මීදුම් සහිත වනාන්තරෙයන් ලොව වෙනත් කිසිදු ස්ථානයක හමු නොවන නව මී විශේෂයක් විද්යාඥයන් හඳුනාගෙන තිබේ. ‘මූස් දුම්බර’ ලෙස විද්යාත්මකව නම් කර ඇති මෙම මීයා, සිංහලයෙන් ‘දුම්බර කටු හීන් මීයා’ ලෙස හැඳින්වෙයි.
මෙම කුඩා මීයා, ශ්රි ලංකාවට ආවේණික නවතම ක්ෂිරපායි විශේෂය ද වෙයි.
මෙම මී විශේෂයයට අදාල නිදර්ශක දෙකක් 2004 දී දුම්බර කදුකරයේ පුවක්පිටිය ප්රදේශයෙන් වාර්තා වූව ද එම අවස්ථාවේදී, ඒවා දැනට හඳුනගෙන ඇති මී විශේෂවලට සමාන යැයි සැලකුණි. කෙසේ නමුත්, වසර ගණනාවකට පසු නැවතත් ශාරීරික ලක්ෂණ සහ ඩීඑන්ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙම මීයා නව විශේෂයක් බව තහවුරු වී ඇත.
හිස සහ ශරීරයේ ප්රමාණයට වඩා දිගු වලිගයක් තිබීම, හිස්කබලේ විශේෂ ලක්ෂණ සහ සුවිශේෂි බාහිර ස්වරූපය නිසා මෙම මීයා අනෙකුත් මී විශේෂයන්ගෙන් පහසුවෙන් වෙන් කර හදුනා ගත හැකි බව පැවැසෙයි. විද්යාඥයන් මෙම නව මීයා ‘පයිරොමිස්’ යන උප ගණයට වර්ග කර ඇත.
වසර 94 කට පසු ශ්රි ලංකාවෙන් නව ආවේණික මී විශේෂක් හදුනා ගැනීම මෙරට ක්ෂිරපායී පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙයි. සවිස්තරාත්මක පර්යේෂණවලින් පසු, මෙම මීයා සම්බන්ධ සොයාගැනීම පසුගිය දා නිල වශයෙන් ප්රකාශයට පත් කෙරුණි.
෴මල්මි පබසරා
