වසර 45,000 ක් පැරැණි ඉනි ඌරා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

වසර 45,000 ක් පැරැණි ඉනි ඌරා

ලොව පැරණිම සත්ව රූප සිතුවම යැයි සැලකෙන, වසර 45,500 ක් පැරණි බිතුසිතුමක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. 

මේ සිතුවම හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ලෙනකිනි. ඉන්දුනීසියාව යනු ප්‍රධාන දූපත් කීපයකින් සහ කුඩා දූපත් රැසකින් සැදුම්ලත් ආසියානු දූපත් රාජ්‍යයකි. 

බිතු සිතුවම සහ එය ඇති ලෙන සොයා ගැනීම කර ඇත්තේ, ඉන්දුනීසියා සහ ඕස්ට්‍රේලියා පර්යේෂකයන්ගේ එකමුතුවෙනි. පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට මෙම සිතුවම මෙතෙක් ලෝකයේ හමුවී ඇති ජීව ප්‍රමාණයේ (සැබෑ රූපයට සමාන) පැරණිතම සත්ව රූප සටහනය. 

ලීනින් ටෙඩොන් නමින් හැඳින්වෙන ලෙනෙන් හමුවුණු, මේ රූපයෙන් නිරූපණය වන්නේ වල් ඌරෙකි. ලොකු වල් ඌරෙකි. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තා ‘ඇඩ්වාන්ස් සයන්ස්’ සහ ‘ලයිව් සයන්ස්’ විද්‍යා සඟරාවල පළ වී ඇත. 
හොඳින් සුරැකී පවතින මෙම වල් ඌරාගේ චිත්‍රයට අමතරව, එම චිත්‍රය ඇති ලෙන් බිත්තියේ තවත් ඌරන් දෙනෙකු‍ගේ චිත්‍ර දකින්න ලැබේ. ඒවා කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ගොසිණි. 

එපමණක් නොවෙයි, හොඳින් සුරැකී ඇති චිත්‍රයේ වල් ඌරාගේ පසුපසින්, සිතුවම සිතුවම් කරන්න ඇතැයි සැලකෙන ආදී මානව සිත්තරාගේ අත් සලකුණු ද පැහැදිලිව දකින්න ලැබේ. 

ගල් ලෙන ඇතුළට යන්න ලෙන් සිවිලිමේ තවත් ඌරකුගේ සිතුවමක් ඇත.එම සිතුවම වසර 32,000 ක් පැරැණි බව තහවුරු කරගෙන තිබේ.
‘මේ චිත්‍ර අතර අත්වල වට රූප හතරක් හා හොඳින් ආරක්ෂා වී නැති සත්ව රූප කීපයකුත් තියෙනවා. හොඳින් සුරැකී ඇති ඌරාගේ චිත්‍රයෙහි හිසේ ඉහළට විහිදුණු කෙටි කේසර පොකුරක් තියෙනවා. ඇස් අසල අං වගේ ඉදිරියට නෙරා ගිය ඉන්නන් බඳු ගැට දෙකක් විහිදී තියෙනවා. මෙයින් නිරූපණය වන්නේ සුලාවෙසි නිජබිම් කර ගත් හොඳින් වැඩුණු ඉනි ඌරෙක්.’ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයකු වූ මහාචාර්ය ඇඩම් බ්රූම් පැහැදිලි කරයි. 

මෙම පර්යේෂණයට අදාල නිබන්ධනය සකස් කළ කතුවරයා වන්නේ මහාචාර්ය ඇඩම්ය. 

‘රතු පැහැයෙන් මේ චිත්‍ර සිතුවම් කර ඇත්තේ අනිත් ඉනි ඌරන් දෙදෙනා සමග සටනකට හෝ අනංග රංගයකට සැරසෙන නිසා විය යුතුයි.’ මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටී. 

අතීතයේ මෙන් ම සුලවේසී ඉනි ඌරන් අදත් සුලවේසී දූපතේ තෙත බරිත වනාන්තරවල දකින්න ලැබේ. අද දකින්න ලැබෙන්නේ පරිණාමයට ලක්වුණු ඌරන්ය. කෙසේ නමුත් උන්ගේ ගහණය ඉතාමත් වේගයෙන් අඩු වී තිබේ. 
සුලවේසී ඉනි ඌරාට ඇත්තේ බර සිරුරකි. විශාල සිරුරට සාපේක්ෂව පාද කුඩා ය. වැඩුණු සතකුගේ බර රාත්තල් 190 ක් යැයි ද පැවැසෙයි.

විද්‍යා සඟරා උපුටා දක්වමින්, ලොව පැරණිම සත්ව රූප සිතුවම ලෙස මෙම ඌරා පිළිබඳ විස්තර, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මීට දින කීපයකට පෙර වුවත්, මෙම ඌරා සහ සිතුවම් පිරුණු ලෙන සොයා ගෙන ඇත්තේ 2017 දීය. 

ලීනින් ටෙඩොන් ලෙන ට යෑම පහසු නොවන බවත් පැවැසෙයි. විද්‍යඥයන් මෙම සිතුවම් අධ්‍යයනය කරන්නේ එම චිත්‍රවල ඇති විශේෂ ඛනිජ ද්‍රව්‍ය පරීක්ෂා කරමිනි.  සිතුවම්වල කාල නිර්ණය කර ඇත්තේ යුරේනියම් ශ්‍රේණිය යොදා ගැනීමෙනි. සිතුවම සිතුවම් කර ඇත්තේ රතු හිරියල් වර්ණයෙනි. 

ආදි මානවයන් සිතුවම් ඇන්දේ වරණ කුඩු සහ කෙල මුසු කරමින් යැයි විද්‍යාඥයෝ පවසති. ඒ අනුව, සිතුවම්වල වර්ණක කොටස් වැඩි දුර පරීක්ෂා කරමින්, ආදි මානවයන්ගේ ඩී.එන්.ඒ. අධ්‍යයනයක් කිරීමට ද ඉදිරියේ දී සැලැසුම් කර තිබේ. 

මීට වසර 65,000කට පෙර ආදී මානවයන් ආසියාවේ සිට ඉන්දුනීසියානු දූපත් හරහා වාලෙයිසී දූපත් ඔස්සේ නිව්ගිනියා දූපත් හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලට සංක්‍රමණය වෙන්නට ඇතැයි විද්‍යාඥයෝ විහ්වාස කරති.
ඌරාගේ සිතුවම සහිත ගල් ලෙන

පර්යේෂකයන් පැහැදිලි කරන විදියට මෙවැනි අරුත් බර සිතුවම් පැරණි ලෙන් චිත්‍රවල දැකිය හැකි දෙයක් නොවේ. පර්යේෂණයට සම්බන්ධ වූ පිරිස, මෙවැනි සිතුවම් ගැන විශේෂඥයන්ය. මීට පෙර, පැරැණිතම ලෙන් චිත්‍රය සොයා ගැනීමට සමත් වූයේත් ද මෙම පර්යේෂණ කණ්ඩායමය. 

එම චිත්‍රය ද ඉනි ඌරකුගේ වන අතර, එම චිත්‍රය සොයා ගැණුනේ ද ඉන්දුනීසියාවේ මෙම සුලවේසී දූපතෙනි. එම ලෙන් සිතුවම  වසර 43,900ක් පැරැණි එකකි.

‘සුලාවෙසි දූපතේ ආදී මානවයන්ගේ ජීවිතයේ ඉනි ඌරන් හා බෝවිඩ් ගවයන් කොටස් කරුවන් වී ඇති බව පැහැදිලියි. අපට බෝවිඩ් ගවයන්ගේ ලෙන් චිත්‍ර පවා ඉන්දුනීසියාවෙන් හමුවී තිබෙනවා. 

තවමත් හමු නොවුණු ලෙන් ගණනාවක් ඉන්දුනීසියාව පුරා තිබෙනවා. ඒවා සොයා පර්යේෂණ කළ හැක්කේ වියළි කාලයේ දී පමණයි. අනෙක් කාලයේ දී ගංවතුර නිසා මේ ලෙන් බොහොමයක් මුළුමනින් යට වෙලයි තියෙන්නේ’ යැයි මහාචාර්ය ඇඩම් බ්රූම් පවසයි. 

ද සන් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom