ඉන්දියානුවන්ට විශිෂ්ට ජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 19, 2021

ඉන්දියානුවන්ට විශිෂ්ට ජයක්

වාර්තා ගත ලකුණු හඹා යෑමක නිරත වෙමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද සමත් විය. 

තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම අද 2-1ට එකක් ලෙස ජයග්‍රහණය කළේ 1988 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කළ පළමු ටෙස්ට් කණ්ඩායම බවට පත්වෙමිනි. 

 තරගයේ සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ කඩුළු රකින්නා වන රිෂාබ් පාන්ට් ලකුණු 89ක් ලබාගැනීමට සමත් විය. 

කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝදෙනකු ආබාධවලට ලක්ව තිබූ මොහොතක ඉන්දීය කණ්ඩායම ලකුණු 329ක් හඹා යමින් මෙලෙස කඩුළු තුනක විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය. 

සර් විවියන් රිචඩ්ස්ගේ සුවිශේෂී හා සුප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද වනතෙක් ගැබා පිටියේදී කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නොතිබිණි. 

ඔස්ට්‍රේලියා කණ්ඩායම 1988 වසරේ නොවැම්බර් මාසයේ දී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ කඩුළු පරාජයක් අත් වින්ඳේ ය. 

ඉන්දියාව ලකුණු 329ක් හඹා ගිය අවස්ථාවේදී තවත් වාර්තාවක් බිඳ වැටිණි. එනම් වසර 69කට පසු කණ්ඩායමක් හඹා ගිය විශාලතම ලකුණු සංඛ්‍යාව මෙය විය. 

බටහිර ඉන්දීය කණ්ඩායම එරෙහිව ඔස්ට්‍රේලියානු කණ්ඩායම 1951 වසරේ දී ලකුණු 236ක් හඹා යමින් කඩුළු හතක් ජය ලැබීමට සමත්ව තිබිණි. 

මේ අනුව වාර්තා ගත ලෙස බෝඩර්-ගවස්කාර් තරගාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගාවලියේ පළමු තරගයේදී ඉන්දීය කණ්ඩායම ඇඩිලේඩ් හිදී ලකුණු 36කට දැවී ගියේය. 

එය ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී රැස් කළ අඩුම ලකුණු ප්‍රමාණය විය. 

කෙසේ නමුත් සටන්කාමී ඉන්දීය කණ්ඩායම මෙල්බර්න් නුවරදී දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

සිය පළමු බිළිඳාගේ උපත වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පළමු ටෙස්ට් තරගයෙන් පසු නැවත ඉන්දියාවට පැමිණියේ ය. 

එපමණක් නොව තරගාවලිය මුළුල්ලේ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෝ රැසක් විවිධ ආබාධවලට ලක්වූහ. 
කෙසේ නමුත් සටන්කාමීත්වය දිගටම පෙන්වමින් සිඩ්නි හි පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. 

ඉන්දීය කණ්ඩායමේ මෙම තරග ජයග්‍රහණය සහ තරගාවලි ජයග්‍රහණය ‘‘ආශ්චර්යක්’’ යැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ‘‘මෙය විශිෂ්ට ජයග්‍රහණයක්. 

ඇතැම් විට මෙය විශිෂ්ටතම ටෙස්ට් තරග ජයග්‍රහණය යැයි කියන්නත් පුළුවන්’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මයිකල් වෝන් පවසා තිබිණි. 

තරගයේ වීරයා වූයේ පන්දු 138කදී ලකුණු ලකුණු 89ක් රැස් කළ රිෂාබ් පාන්ට් ය. ඔහුගේ ඉනිමට හතරේ පහර නවයක් සහ හයේ පහරක් ඇතුළත් විය. 

සිඩ්නි හි පැවැති තරගයේදී ඔහු මේ හා සමානම ඉනිමක් ක්‍රීඩා කළේය. 

මේ තරගයේ අනෙක් වීරයා වූයේ ෂුබ්මන් ගිල් ය. 

නව ක්‍රීඩයකු ලෙස මෙම තරගාවලියට එක්වූ ගිල් මෙම තරගයේ තීරණාත්මක දෙවැනි ඉනිමේදී ලකුණු 91ක් රැස් කරගැනීමට සමත් විය.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් චෙටෙස්වර් පුජාරා රැස් කළ ලකුණු 56 දී මෙහිදි වැදගත් විය. 

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ වේගවත් පන්දු සිය සිරුරේ වැදුණ ද පුජාරා සිය අන්තය ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටියේය. 

 මෙම තරගයේදී පැට් කමින්ස් ලකුණු 55කට කඩුළු හතරක් දවා ගැනීමට සමත් වුවද ඔස්ට්‍රේලියානු වෙනත් කිසිදු පන්දු යවන්නකුට සාර්ථක වීමට නොහැකි විය. 
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 294කට සීමා කිරීමට සමත්වූ ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් දිනය ආරම්භ කළේ කිසිවකු නොදැවී ලකුණු හතරක් ලබා සිටියදී ය. 

උදය වරුවේම රෝහිත් ෂර්මා දවාගත් ඔස්ට්‍රේලියානුවන් ජයග්‍රහණයේ බලාපොරොත්තු තබාගත්ත ද ඉන්දියාව ද තරගය අත්නොහැරියේ ය. 

ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බල ඇණිය නවකයන්ගෙන් සමන්විත විය. 

ඊට නායකත්වය දුන්නේ මෙල්බර්න් නුවරදී සිය පළමු තරගයට ක්‍රීඩා කළ මොහොමඩ් ෂිරාජ් ය. 

නව්දීප් සයිනි, ෂර්දුල් ඨාකූර්, ටී. නටරාජන් සහ වොෂින්ටන් සුන්දර් අනෙක් පන්දු යවන්නෝ ය. 

ඔවුන් සියලු දෙනා ක්‍රීඩා කර තිබූ ටෙස්ට් තරග ගණන දෙකකි. පස්වැනි සහ අවසන් දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාවට දවා ගත හැකි වූයේ ඉන්දීය කණ්ඩායමේ එක් කඩුල්ලක් පමණි. 

දිවා ආහාරයෙන් පසු ද ඔස්ට්‍රේලියාවට වැඩි සාර්ථකත්වය අත්පත් කරගැනීමට නොහැකි වූ අතර දවාගැනීමට හැකි වූයේ කඩුළු දෙකක් පමණි. 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ගිල් ලකුණු 91කට දැවී ගිය අතර වේගවත් ලකුණු 24ක් රැස් කිරීමෙන් පසු නායක රහානේ දැවී ගියේය. 

පස්වැනි දිනය වූ අද සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ගිල් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් පිටියේ සෑම කොනකටම පහර දුන්නේ ය. 

ඔහු දැවී යෑමට පෙර පන්දු 145කට මුහුණ දී තිබූ අතර හතරේ පහර අටක් සහ දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කර තිබිණි. ඔහු නේතන් ලයන්ගේ 398 වැනි ගොදුර බවට පත්විය. 

 තරගයේ සැඳෑ භාගය පැමිණෙන විට ඉන්දීය කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම කඩුළු තුනක් දැවී ලකුණු 167ක් රැස් කරගෙන සිටියේය. 

ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව 228ක් ලෙස දැක්වෙද්දි චෙටෙස්වර් පුජාරා දැවී ගිය තරගයේ අවසන් පැයේදී ඉන්දීය කණ්ඩායමට තවත් කඩුළු තුනක් අහිමි විය. 

කෙසේ නමුත් දිගින් දිගටම සටන්කාමී ඉනිමක නිරත වූ රිෂාබ් පාන්ට් තරගයේ තවත් පන්දුවාර හතරක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායමට ජය ගෙන ඒමට සමත් විය. 

හැසල්වුඩ් ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කළ රිෂාබ් පාන්ට් ඉන්දියාවට විශිෂ්ට ජයක් ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අමිහිරි පරාජයක් ද අත්පත් කරදුන්නේ ය. 

෴හර්ෂණ
ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි 
 ඡායාරූප ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom