ස්පුට්නික් එන්නත ඉරාන වැසියන්ට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

ස්පුට්නික් එන්නත ඉරාන වැසියන්ට

රුසියාවෙන් මිලදී ගත් ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නත ඉරාන වැසියන්ට ලබා දීම ඉරාන රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත, කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද පවා අඩපණ කරන බවට එන්නත නිපදවූ රුසියාවේ ‘ගැමලේයා’ සමාගම සහතික වී ඇත. ‘ස්පුට්නික් 5’ එන්නතේ සාර්ථකත්වය සියයට 91 ක් බව ද පැවැසෙයි. 

ඉරානය රුසියාවෙන් ‘ස්පුට්නික් 5’ එන්නත් මාත්‍රා මිලියන දෙකක් මිලදී ගෙන ඇති අතර, එයින් පළමු එන්නත් තොගය ඉරානයට ලැබුණේ පසුගිය සතියේය. 

ලබන 18 වැනිදාත් 28 වැනිදාත් තවත් එන්නත් තොග නැව් මගින් ලැබීමට නියමිත බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක කයෝනාෂ් ජහන්පූර් පවසා තිබේ. 

‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බලපෑමට ලක්වුණු මැදපෙරදිග රටක් වන්නේ ඉරානයයි. ඉරානයේ මිලියන 1.4 කට වයිරසය ආසාදනය වී ඇති අතර මරණ වාර්තා වන්නේ 58,600 ක් ලෙසය. මියගිය පිරිස අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ද වෙති. 

‘ස්පුට්නික් 5’ එන්නත ලබා දීම ආරම්භ වූයේ තෙහෙරාන් අගනුවර ඉමාම් කොමේනී රෝහලෙනි. පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවූයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ටය. ‘එන්නත් කිරීමේ වැඩසටහන අප ආරම්භ කළා. 

පළමුවෙන් සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට එන්නත් ලබා දෙනවා’ යැයි වයිරසයෙන් මියගිය සෞඛ්‍ය අංශ සාමාජිකයන් සිහිපත් කරමින් ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා තිබේ. 

ඉරානය සහ රුසියාව අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. ඉරාන ජනාධිපති රොව්හානී පවසා ඇත්තේ බටහිර එන්නත්වලට වඩා රුසියාවේ එන්නත කෙරෙහි තමන්ගේ විශ්වාසයක් ඇති බවය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom