ඇමැති දිනේෂ් හිමිකම් කවුන්සිලය අමතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

ඇමැති දිනේෂ් හිමිකම් කවුන්සිලය අමතයි

විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (23) පස්වරුවේ ඇමතීමට නියමිත ය. 

 විදේශ අමාත්‍යවරයා අන්තර්ජාලය හා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සැසිවාරය අමතනු ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දී ඊයේ (22) ආරම්භ වූ අතර කොවිඩ්-19’ වසංගත හේතුවෙන් මෙවර සැසිවාරය අන්තර්ජාලය සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් ඒ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට හෙට (24) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්ෂික වාර්තාවේ කෙටුම්පතේ සඳහන්ව ඇත. 

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආගමක් ඇදහීමට ඇති නිදහසට සහ විශ්වාසවලට බලපෑම් එල්ල වී ඇති බවත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට වෙනස් කොට සැලකීමේ තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවත් අදාළ කෙටුම්පතේ සඳහන් ය. 

මෙවර සැසිවාරයේ දී මූලික කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද වාර්තා වේ. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කරන වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලික කණ්ඩායම අදහස් කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සතියේ දී සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව තවදුරටත් අඛණ්ඩව සලකා බැලීම වැදගත් බව මූලික කණ්ඩායම නැවත අවධාරණය කරන බව ද එම නිවේදනයේ දැක්වේ. 

 ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ, මලාවි සහ එක්සත් රාජධානිය වෙනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom