කඳුකර ජීවිතයට උපන් හපනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 7, 2021

කඳුකර ජීවිතයට උපන් හපනා

අරාබි අර්ධද්වීපයේ දැඩි හිරු රැස්වලින් දවස පුරා බැටකන වියලි කර්කශ කඳු වැටි. උස අනුව පමණක් නොවෙයි, තියුණු බෑවුම් අනුව ද මේවා හිමාල අඩවියේ කඳුවැටිවලට සමාන කළ නොහැක. මෙම කඳු අතරේ ඇති පහළ බලද්දී කැරැකිල්ල හැදෙන මේ තියුණු බෑවුම් හරිම භයානකය. අනතුරුදායකය. ඒවායේ පය තබා ගැනීමට තැනක් නැත. එසේ වුවත්, මේ කඳු අතරේත් තියුණු බෑවුම් අතරේත් ජීවය පවතී. මේ තියුණු බෑවුම් පිරි කඳු නිවහන කරගෙන සිටින්නේ එළුවෙකි. මේ එළුවා නූබියානු අයිබෙක්ස්ය.

කඳුකර එළුවෝ 

නූබියානු අයිබෙක්ස් අප්‍රිකාවට සීමා වෙයි. අයිබෙක්ස් එළුවන් විශේෂ උතුරු අප්‍රිකාවේ පමණක් නොවෙයි, යුරෝපයේත්, දකුණු ආසියාවේත් කඳුවල වාසය කරනු දකින්න ලැබේ. අයිබෙක්ස් අඩ කවාකාර අං සහිත එළුවෙකි. නූබියානු අයිබෙක්ස් ඔවුන්ගේ පුංචි පැටවුන් ලොකු මහත් කිරීමට මෙම පය ලිස්සා ගියොත් මරණය නියත බෑවුම් තෝරාගෙන ඇත. ඒ ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි. තියුණු බෑවුම් ඇති නිසා කිසිම විලෝපිකයකුට පැටවුන් වෙත ළං විය නොහැකිය. එහෙයින් මේ කඳු නූබියානු අයිබෙක්ස් ට ආරක්ෂිත නිවහනකි. මෙවැනි ආරක්ෂිත නිවහනක දිවි ගෙවද්දී පවා අවාසි ද නැත්තේම නොවෙයි. 

කඳුකර හපන්නු 

අයිබෙක්ස් ජීවත් වන කඳු අතරේ ඇති බෑවුම් කොතරම් තියුණුදැයි කීවොත්, ඒවායේ කිසිම තැනක වතුර රැඳෙන්නේ නැත. වතුර බොන්නට නම්, අයිබෙක්ස් පවුලට පහළ නිම්නය බලා පල්ලම් බැසීමට සිදුවෙයි. අඩි 1,000 ක් පහළට අයිබෙක්ස් රංචුව සීරුවෙන් පය තබමින් ගමන් කිරීමට පටන් ගනී. යා යුතු ආරක්ෂිත මඟ තීරණය කරන්නේ රංචුවේ සිටින අයිබෙක්ස් අම්මලාය. අයිබෙක්ස් එළුවන්ගේ දෙකට බෙදුණු කුර මෘදුය. අප කඳු නගින්න භාවිතා කරන විශේෂිත උල් සහිත සපත්තුවලට වඩා මෙම කුරවලට ග්‍රහණය කර ගැනීමේ ශක්තිය ඇත. එහෙයින්, ලොව සිටින අතිදක්ෂ කඳු නගින්නන් බවට පත් වීමට අයිබෙක්ස් සමත්ය. 

පහළට බසිති 

අලුත උපන් අයිබෙකස් පැටවුන්ට තවමත් කඳු නැගීම හෝ බැසීම හුරු නැත. පය තැබීම කළ යුතු තැන හෝ නොකළ යුතු තැන හෝ අලුත් පැටවුන් දන්නේ නැත. අලුත උපන් පුංචි පැටවු කිහිප දෙනෙක් මේ අයිබෙක්ස් පවුලේ සිටිති. මේ ඔවුන් කන්ද පහළට බසින පළමු අවස්ථාවය. පය ලිස්සා ගියොත් මරණය නියතය. එහෙයින් වැරැදීම් හෝ අතපසුවීම්වලට ඉඩ නැත. තියුණු බෑවුම් අතරින් පර්වත කුහර අතරින්, සෙමින් සෙමින් පය තබමින්, අවශ්‍ය වූ විටෙක පනිමින්, අයිබෙක්ස් පවුල පහළට ගමන් කරමින් සිටී. 

රතු නරියා 

කඳුකරයේ ආරක්ෂාවෙන් මිදී, නිම්නයට පය තබන අයිබෙක්ස් පවුල දැන් අසරණය. ඔවුන් ගොදුරු කර ගැනීමට විලෝපිකයෙකු පහළ බලා සිටී. ඒ, රතු නරියෙකි. නරියා, ‘කැනිඩේ’ හෙවත් සුනඛ කුලයට අයත් ක්ෂීරපායී සතෙකි.රතු නරියාගේ ඇසට පුංචි අයිබෙක්ස් පැටවෙක් ලක් වෙයි. සෙමින් සෙමින් ගල් අතරින් මුවාවෙමින්, නරියා පැටවා සිටින තැනට ඇදෙයි. නරියා පැටවා වෙත කඩා පනින්න සැරැසෙද්දී, පැටවා නරියා දකී. අනතුරක් බව වැටහුණු සැණින් පැටවා ආපසු හැරී විදුලි වේගයෙන් යළි තියුණු බෑවුම් ඇති කන්ද දෙසට දිව යයි. සෙසු අයිබෙක්ස් රංචුව ද පැටවාට එක් වෙයි. නරියාගෙන් බේරෙන්න කඳුකරයත් නිම්නයත් අතර උසින් වැඩි පර්වතයකට රංචුව ගොඩවෙයි. නරියාට එම පර්වතයට නැගීම කළ නොහැකිය. එහෙත්, පර්වතයේ එක පැත්තක ඇත්තේ අඩි 30 ක පමණ තියුණු බෑවුමකි. අයිබෙක්ස් පවුල කොටුකර ගැනීමට නරියා සමත්වුණාද ? බැලූ බැල්මට එහෙමයි. 

පහළට පනිති 

අයිබෙක්ස් පවුල එකා දෙන්නා බැගින්, සෙමින් පර්වතය අද්දරට යයි. ඉන්පසු ඔවුන් පර්වතයෙන් පහළට පනින්න පටන් ගනී. පුංචි පැටවුන් ද අම්මලා තාත්තලා අනුකරණය කරමින්, පහළ ප්‍රපාතයට පනී. මෙවැනි වික්‍රමවලට අයිබෙක්ස් උපන් හපනුන්ය. ප්‍රපාතයේ අනෙක් පැත්තේ සිටින රතු නරියාට හොරා අයිබෙක්ස් එළුවන් රංචුව ප්‍රපාතයෙන් පහළට පැන යළි ඉහළට දිවන්න පටන් ගනී. නරියා ද ගල් පර්වතය වටේ ගොස් එළුවන් අල්ලා ගැනීමට උත්සහබ දරයි. ඒත්, අයිබෙක්ස් රංචුව එක පොදියට නොව, එකා දෙන්නා බැගින් විසිරී ගලින් ගලට පනිමින් බෑවුම් දිගේ පහළට දුවන්න පටන් ගනී. එවිට නරියා අන්දමන්ද වෙයි. ඒ, අල්ලා ගත යුත්තේ කවුරුන්දැයි හරිහැටි තෝරා ගැනීමට නොහැකිවය. අයිබෙක්ස් රංචුව කඳුබෑවුමේ කුහර අතරට නැගගත් විට රතු නරියාට ඔවුන්ට ළං විය නොහැකිය. 

නරියාට පරාජය 

පය ලිස්සා එකෙකු පහළට වැටේවි යැයි සිතා බලා නරියා බලා සිටියත් එවැන්නක් සිදු වන්නේ ද නැත. අලුත උපන් පුංචි පැටවුන් පවා ඉක්මනින් ඉගෙන ගනී. අම්මලා තාත්තලා මෙන් ඔවුන් ද හොඳින් පාද හසුරුවන්න හුරුවී ඇත. විදුලි වේගයෙන් කන්දේ ඉහළට මෙන්ම පහළට පනිමින් දුවන්න ඔවුන් හපනුන්ය. නරියාට ගොදුර මඟ හැරෙයි. කෑමට වෙනත් දෙයක් සොයා ගැනීමට සිදුවෙයි. අවසානයේදී, අයිබෙක්ස් රංචුවට නිදහසේ දිය බීමට අවස්ථාව ලැබේ. පහළ නිම්නයේ පර්වත බෑවුම් අතරේ පැහැදිලි දිය පිරුණු දිය කඩිත්තක් වෙත ඔවුහු පැමිණෙති. 


ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Planet Earth II ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom