යමීගේ යෝග - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 26, 2021

යමීගේ යෝග

කොරෝනා වසංගතය හේතුවෙන්, සිනමා නිර්මාණ කටයුතු අඩාල වෙද්දී, බොලිවුඩ් සුරූපිනියන් බහුලව දකින්න ලැබුණේ ඔවුන්ගේ ව්‍යායාම වීඩියෝ හරහාය. 

සමාජ මාධ්‍ය ඔස්සේත්, යූ ටියුබ් හරහාත් මෙවැනි වීඩියෝ ජනප්‍රිය විය. බොලිවුඩ් සුරූපිනී යමී ගෞතම්ගේ යෝග ව්‍යායාම වීඩියෝ ද ඒ අතර කැපී පෙනෙයි. 

''මා ඉස්සර ව්‍යායාම කරන්න උත්සාහ කළා. ඒත් කලක් තිස්සේ මගේ බෙල්ලේ තිබුණු ආබාධය නිසා ඒක බැරි වුණා. ව්‍යායාම කරද්දී මට ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා. ඒ නිසා මා උත්සාහය අතහැරියා. මා යෝග ව්‍යායාමවලට යොමු වුණේ ඉන්පසුවයි. යෝග ව්‍යායාම හරහා මගේ බෙල්ලේ ආබාධය බොහෝ දුරට සුව කර ගන්න මට හැකිවුණා. වේදනාවකින් තොරව සිරුර හැඩ කරගන්න පමණක් නොවෙයි, නිරෝගීව ඉන්නත් යෝග ව්‍යායාම මට උදව් වෙනවා'' යැයි යමී ගෞතම් පැහැදිලි කර තිබේ. 
කණ්නඩ, මලයාලම්, තෙළිගු, දෙමළ සහ පනංජාබි චිත්‍රපටි කිහිපයකම රඟ පෑ යමී හින්දි සිනමාවට පිවිසියේ ප්‍රහසන චිත්‍රපටියක් වූ විකී ඩෝනර් හි ප්‍රධාන චරිතය රඟ පාමිනි. ඇය අවසානයට දකින්නට ලැබුණේ බාලා චිත්‍රපටියේය. ඉදිරියේ දී යමීගේ රංගනය දැකිය හැකි වන්නේ 'භූත් පොලිස්' සහ 'දාස්වි' චිත්‍රපට හරහාය. 

තම බෙල්ලේ ආබාධය ඇති වූයේ කෙසේදැයි 32 හැවිරිදි යමී මාධ්‍ය හමුවේ අනාවරණය කළේ පසුගිය දිනෙකය. එය සිදුවූයේ මීට වසර කීපයකට පෙරය. ඒ කාලයේ ඇය චතිස්ගාර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියාය. ඇය විශ්ව විද්‍යාලයට ගියේ ස්කූටි යතුරු පැදියකිනි. 

 දිනක් උදේ විශ්ව විද්‍යාලය බලා යද්දී, යමී අවාසනාවන්ත සිදුවීමකට ගොදුරු විය. මෝටර් රථයක් ඇය හප්පා පලා ගොස් ඇත. ඇගේ බෙල්ලේ ආබාධය ඇති වූයේ එම අනතුරිනි. 

අද පවා යතුරු පැදියකින් යද්දී තමන් බියෙන් හා චකිතයෙන් ගමන් කරන බව 'බොම්බේ ටයිම්ස්' පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් යමී පවසා තිබේ. 

“ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්නවත් මට කාලයක් තිබ්බෙ නෑ. මගේ මෝටර් සයිකලය කාරෙකේ වැදිලා මාත් එක්කම බිම වැටුණා. කාරෙක නවත්තන්නෙ නැතුවම ගියා. වාසනාවට මා බේරුණේ. නැත්නම් මා බිම වැටිලා ඉඳිද්දී පිටිපස්සෙන් ආ වාහනයක් මාව යට කරගෙන යන්න ඉඩ තිබ්බා. කවුද මහත්තයෙක් ඇවිත් මාව එතනින් නැගිට්ටවලා පාර අයිනට ඇදලා ගත්තා. ඇත්තටම අදටත් මට ඒ අනතුර මතක් වෙනකොට පුදුමාකාර බයක් දැනෙන්නෙක” යමී සිය සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියාය.

''ඒ සීතල කාලය. මා ඇඳුම් කීපයක් සහ ජර්සියක් ඇදලයි හිටියේ. අනතුරින් බරපතල තුවාලයක් නොවුණේ මා හෙල්මට් පැලඳ සිටි නිසයි. ඒත් මගේ බෙල්ලේ ඇටයක් පුපුරා ගියා. වෛද්‍යවරුන් එදා කීවේ ව්‍යායාම කිරීම මට සුදුසු නැහැ කියලයි." යමී අතීත සිදුවීම් මතක් කරමින් පවසයි. 
ඒ වන විට යමී ගෞතමී චතිස්ගාර් විශ්ව විද්‍යාලයේ නීති අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටියාය. ඇගේ අරමුණ වූයේ ඉන්දියානු පරිපාලන සේවයට ඇතුළත් වීමය. එහෙත් අනතුරින් පසුව ඇගේ අරමුණ වෙනස් විය. 

ඇය රංග කලාව හදාරන්නට පටන් ගත්තාය. වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් එක් වුණු යමී, පළමුවෙන් ඉන්දීය ටෙලි නාට්‍යවල රඟ පාන්න වූවාය. 'චාන්ද් කේ පාර් චලෝ' ඇය රඟ පෑ මුල්ම ටෙලි නාට්‍යයයි. රිදී තිරයට පිවිසීමට පෙර, 'යේ ප්‍යාර් නා හෝගා කාම්', 'රාජ්කුමාර් ආර්යාන්' ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකටම යමී ගෞතමී රංගනයෙන් එක් වූවාය.

අද වනවිට යමී බොලිවුඩ් නිළියක පමණක් නොව, යෝග උපදේශිකාවක ද වන්නීය. යමීගේ යෝග අභ්‍යාස වීඩියෝ බොහෝ දෙනා අතරේ ජනප්‍රියය.

නිළියක ලෙස විවිධාකාර චරිත රඟ පාන්නට සිදු වන අතර සිරුරේ මනා හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම කරන්නට ද සිදුවන බව යමී පවසයි. එසේ ව්‍යායාම කරද්දී ඇගේ බෙල්ලේ ආබාධය ඉස්මතු විය.

“අඟල් පහක් විතර උස අඩියක් තියෙන සපත්තු දෙකක් දාගෙන ටිකක් වෙලා එහාට මෙහාට දුවනකොට බෙල්ලේ වේදනාව මතු වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා මම හුඟක් පරිස්සමින් තමයි රංගන කටයුතු කරන්නේ. මුලදී යෝග ව්‍යයාම කරන්න පටන් ගත්විටත් වේදනායක් දැනෙන්න වුණා. ඒත් මා ඊට සිත යෙදෙවූයේ නැහැ. දැන් මට වේදනාවකින් තොරව යෝග ව්‍යායාම කරමින් සිරුරේ මනා හැඩය පවත්වාගෙන යා හැකියි'' යැයි යමී ඇගේ වීඩියෝ හරහා පවසයි.

බොම්බේ ටයිම්ස්

Classified_Ad

Classified_Ad_News_Bottom