කොවැක්ස් සඳහා යුරෝපා රටවල සහාය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 27, 2021

කොවැක්ස් සඳහා යුරෝපා රටවල සහාය

sample-ad-complete-big
Covax-Vaccine-2021
කොවිඩ් එන්නත්කරණය සදහා වන කොවැක්ස් වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ සහාය ලබා දීමට මෙරට සිටින යුරෝපා සංගමයේ තානාපතිවරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ එකගතාවය පළ කර ඇත.

කොළඹ සිටින යුරෝපා සංගමයේ තානාපතිවරු හයදෙනෙකු පසුගියදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මෙම එකගත්වය පළ කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.විදේශ අමාත්‍යාංශයේදී මෙම හමුවීම පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ප්‍රංශ තානාපති එරික් ලැවර්තු, ඉතාලියේ තානාපති රීටා මැනෙල්ලා, නෙදර්ලන්ත තානාපති ටැන්ජා ගොන්ග්‍රිප්, ජර්මනියේ තානාපති හොල්ගර් සේබර්ට් සහ රුමේනියාවේ කාර්යය භාර නිලධාරී වික්ටර් චියූජ්ඩියා යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී වූහ. 

මෙම තානාපතිවරු හමුවේදී කොවිඩ් වයිරසයට එරෙහිව රටේ වැඩිහිටි ජනගහනය එන්නත් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් කොවිඩ්-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන කොවැක්ස් (COVAX) වැඩසටහන සඳහා යුරෝපා සංගමයේ දායකත්වය ලබා දීමටද මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ කළහ.

තව ද ජීඑස්පී ප්ලස් ක්‍රියාවලිය සහ යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් මෙහිදී විදේශ අමාත්‍යවරයා සහ තානාපතිවරුන් අතර සාකච්ඡා විණි. 

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ සහයෝගීතාව පිළිබද විදේශ අමාත්‍යවරයා මෙහිදී තානාපතිවරුන් වෙත ස්තූතිය පළ කළ අතර ඉකුත් ජනවාරි 25 දින පැවති යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඒම අමාත්‍යාංශය කියා සිටී. 

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ.

Classified_Ad