'ලොව ලොකුම පවුල්කාරයා' සියෝනා චානා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 17, 2021

'ලොව ලොකුම පවුල්කාරයා' සියෝනා චානා

‘ලෝකයේ ලොකුම පවුල්කාරයා’ එසේත් නැතිනම් ලෝකයේ ලොකුම පවුලේ නායකයා ලෙස ලෝක වාර්තා අතරට ගිය සියෝනා චානා පසුගිය දා මියගියේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 76 කි. ලෝකයේ ලොකුම පවුල්කාරයා ලෙස ඔහු ඉතිරි කර ගිය දෑ බොහොමය. 

සියෝනා චානා ට බිරියන් 38 කි. දරුවන් 89 කි. මුණුපුරු මිණිපිරියන් 36 කි. සියෝනා චානා ඉන්දියානුවෙකි. ඉන්දියාවේ මිසෝරාමා ප්‍රාන්තයේ ආගමික නියාකය නායකයෙකි. ඉන්දීය සමාජයේ බහු විවාහ ගැන අසන්න ලැබෙන්නේ නැත. එහෙත් සියෝනා චානාට ඔහුගේ ආගමික නිකාය හරහා ඊට අවසර ලැබුණි.

මිසෝරාමා යනු ඊසානදිග ඉන්දියාවේ කුඩා ප්‍රාන්තයකි. අයිසාවාල් අගනුවරය. 2014 වසරේ කළ සංගනනයකට අනුව ප්‍රාන්තයේ ජනගහනය මිලියන 1.116 කි. මිසෝරාමා මායිම් වන්නේ බංග්ලාදේශයට සහ මියන්මාරයටය. මීදුමින් වැසුණු කඳු වැටිවලින් සහ සුන්දර නිම්නයන්ගෙන් පිරිණු සාමකාමී ඉන්දීය ප්‍රාන්තයක් ලෙස මිසෝරාමා සැලකිය හැකිය. මිසෝරාමා ප්‍රාන්තයේ බහුතරය, 'මිසෝ' වැසියන්ය. 

සියෝනා චානා ජීවත් වූයේ ක්ලංනුම් බක්තුම් නමැති ගම්මානයේය. සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන්, චානා දැවැන්ත මහල් නිවසක් ඉදි කර තිබේ. මෙහි කාමර 100 කි. බිරියන් සියලු දෙනා දරුවන් ද සමඟින් සමඟියෙන් සහ එකමුතුව මෙහි ජීවත් වන බව පැවැසෙයි. මේ දැවැන්ත මහල් නිවාස, සංචාරක ආකර්ශණයක් ද වෙයි. සියෝනා චානාගේ අභාවය සම්බන්ධයෙන් මිසෝරාමා මහ ඇමැති සොරම්තංගා සොව පළ කළේය. ඒ ට්විටර් පණිවුඩයකිනි. සියෝනා චානා කරුණාවන්ත හදවතක් ඇති අයකු යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන්ය. 

සියෝනා චානා අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් පීඩා විදි අයෙකි. චානා ඉකුත් 13 වැනිදා සවස හිටිහැටියේ රෝගී වී රෝහල්ගත කළ බවත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහුගේ හදවත නැවතී තිබුණු බවත් වෛද්‍යවරුන් මාධ්‍ය හමුවේ පවසා ඇත. 

රොයිටර් පුවත් සේවයට අනුව, සියෝනා චානා උපත ලබා ඇත්තේ 1945 වසරේදීය. කෙසේ නමුත් මෙම උපන් දිනය තහවුරු කිරීමට නිසි තොරතුරක් නොමැත. ඔහුගේ පළමු බිරිඳ ඔහුට වඩා අවුරුදු 3 ක් වැඩිමල් තැනැත්තියක යැයි ද පැවැසෙයි. එය ද තහවුරු කිරීමට තොරතුරු නැත. 

ඇය සමඟ විවාව වෙද්දී, සියෝනා චානාගේ වයස අවුරුදු 17 ක් යැයි ද පැවැසෙයි. විවාහය සිදුවී ඇත්තේ 1959 වසරේදීය. සියෝනා චානා 1945 වසරේ උපත ලැබුවේ නම්, 1959 වෙද්දී ඔහුගේ වයස 17 ක් විය නොහැකිය. 

 කෙසේ හෝ වේවා සියෝනා චානා අවසන් වරට විවාහ වූ බව පැවැසනේනේ 2004 දීය. එම විවාහය සිදුවී ඇත්තේ අවුරුදු 25 ක තරුණියක සමඟය. එපමණක් නොව, සියෝනා චානා එක් වසරක් තුළ විවාහ 10 ක් සිදු කර ගත්තේ යැයි ද පැවැසෙයි. සියෝනා චානාගේ ආගමික නිකාය හැඳින්වෙන්නේ 'චානා පාවුල්' යන නමිනි. 

ක්‍රිස්තියානි ආගමික නිකායක් යැයි රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම නිකාය අදහන පිරිස 2,000 ක් පමණය. ඔවුන් සියලු දෙනා ජීවත් වන්නේ, ක්ලංනුම් බක්තුම් ගම්මානයේ සියෝනා චානාගේ දැවැන්ත නිවස අසල ඉඩම්වල නිවාස සාදාගෙනය. ක්ලංනුම් බක්තුම් ගම්මානය පිහිටා ඇත්තේ අයිසාවාල් අගනුවර සිට කිලෝ මීටර් 55 ක දුරිනි. 'චානා පාවුල්' ආගමික නිකාය පිහිටුවා ඇත්තේ සියෝනා චානාගේ සීයා යැයි බී.බී.සී. පුවත් වාර්තාවක දැක්වෙයි. 

අල් ජසීරා පුවත් සේවයට අනුව ආගමික නිකාය පිහිටුවා ඇත්තේ සියෝනා චානාගේ පියාය. ඒ, 1942 වසරේදීය. ගිනස් ලෝක වාර්තා අතරට නොගියත්, ලොව ලොකුම පවුලට හිමිකම් කියන තැනැත්තා ලෙස සියෝනා චානා වෙනත් ජාත්‍යන්තර ලෝක වාර්තා අතරට එක් වී සිටී. අතිශය ජනප්‍රිය ඇමෙරිකන් රූපවාහිනී වැඩසටහනක් වන 'රිප්ලීස් බිලීව් ඉට් ඕර් නොට්' වැඩසටහන ඔස්සේ අවස්ථා දෙකකදී සියෝනා චානා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලැබුණේ ලොකු ප්‍රසිද්ධියකි. 

2014 වසරේ සබන් කුඩු දැන්වීමකට ද සියෝනා චානාගේ පවුලේ සාමාජිකයන් එක්වී ඇත. ඒ බව වාර්තා කරන්නේ 'හින්දුස්ථානී ටයිම්ස්' පුවත්පතය. 2011 වසරේ රොයිටර් පුවත් සේවය සමඟ දොඩමලු වෙන්න සියෝනා චානාට අවස්ථාවක් ලැබිණි. 

‘මගේ පවුල තවත් ලොකු කරගන්න මම සූදානම්. මට වගකීම් බොහොමයි. මා කිසිම අවස්ථාවක බිරියන්ගේත් දරුවන්ගේත් මුණුපුරු මිණිපිරියන්ගේත් ඕනෑ එපාකම් පැහැර හැරලා නැහැ. වගකීම්වලින් පැනලා ගිහින් නැහැ. මා ඇත්තටම වාසනාවන්තයි’ යැයි එම සම්මුඛ සාකච්ඡාවේදී සියෝනා චානා පෙන්වා දී ඇත. 

රොයිටර් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom