රුසියන් නිළිය උඩු ගුවනට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 5, 2021

රුසියන් නිළිය උඩු ගුවනට

අතමිටසරු නම් ඕනෑම අයකුට අභ්‍යවකාශයේ සවාරියකට ගොස් ආපසු ඒමට අවස්ථාව උදා වී ඇති අවදියක, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ කේන්ද්‍රකොට ගනිමින් චිත්‍රපටයක් රූගත කිරීම සිදුවෙයි. එම රූගත කිරීම් මේ වනවිට ආරම්භ වී තිබේ. මෙය අභ්‍යවකාශයේ රූගත කෙරෙන පළමු චිත්‍රපයට වනු ඇත. මෙය රුසියානු චිත්‍රපටයකි. 

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය 37 හැවිදිරි යුලියා පෙරෙසිල්ඩ් ය. මැය රුසියන් සිනමාලෝලීන් අතරේ ජනප්‍රිය තරුවකි. චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා යුලියා සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන රුසියන් සිනමාකරු 38 හැවිරිදි කිම් ෂිපෙන්කෝ, ඊයේ (5) අභ්‍යවකාශ නැවැතුම බලා පිටත්ව ගියහ. 

මොවුන් දින 12 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිමින් රූගත කිරීම්වල නියැලෙනු ඇත. පෙර සැලැසුම් කළ පරිදි, යුලියා සහ ෂිපෙන්කෝ, ඊයේ (5) මොස්කව් වේලාවෙන් උදේ 11.55 ට සෝයූස් රොකට්ටුවක ආධාරයෙන්, සෝයූස් එම්.එස්.16 ගගන කැප්සියුලයේ නැගී උඩු ගුවන බලා පිටත්ව ගියහ. 

මෙම ගමන ඇතුළු සියලු දේ කුඩා කැමරාවලින් පටිගත කෙරුණි. ඒවා ද පසුව සංස්කරණය කර චිත්‍රපටයට එක් කෙරනු ඇත. මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ 'චැලේන්ජ්' (අභියෝගය) යනුවෙනි. රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී. 

යුලියා සහ ෂිපෙන්කෝ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය බවත් එහි සිටින රුසියන් ගගනගාමීන්ගේ සහාය ඇතිව චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වී ඇති බවත් 'රොස්කොස්මොස්' ප්‍රධානී දිමිත්‍රි රොගොසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ. අභ්‍යවකාශ නැවැතුම්පොළ පාදක කර ගනිමින් එහි ගොස් චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයි යන අදහස පළමුවෙන් ම ඉදිරිපත් කර ඇත්තේ ද දිමිත්‍රි රොගොසින් ය. 
යුලියා සහ ෂිපෙන්කෝ සෝයූස් කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය ගමනේ දී එම ගමනට නායකත්වය දුන්නේ පළපුරුදු රුසියන් ගගනගාමී ඇන්තොන් ෂ්කැප්ලෙරෝව්ය. සෝයූස් ගගන කැප්සියුලය රැගත් සෝයූස් රොකට්ටුව කසක්ස්තානයේ බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ අතර පැය 3 ක් පමණ ගතවෙද්දී රොකට්ටුවෙන් වෙන් වුණු ගගන කැප්සියුලය කිලෝ මීටර් 354 ක් දුරින් පෘථිවි කක්ෂයේ රැඳි අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය. 

කැප්සියුලය අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වීමට යද්දී අකරතැබ්බක් ද සිදුවිය. සාමාන්‍යයෙන් කැප්සියුලයක එය පාලනය කිරීමට ප්‍රධාන නියමු ගගනගාමියකු සහ ඔහුගේ සහායට ඉන්ජිනේරුවකු ගවන් කරයි. ඒත් මෙම ගමනේ දී ප්‍රධාන නියමුවා ලෙස ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් කටයුතු කළත්, ඔහුගේ සහායට සහාය ඉන්ජිනේරුවෙකු සිටියේ නැත. 

යුලියා සහ ෂිපෙන්කෝ කැප්සියුලය මෙහෙයවීමට පුහුණුව ලබා සිටියේ නැත. කැප්සියුලය හා නැවැතුම්පොළ අතර සම්බන්ධය ස්වංක්‍රීයව සිදු කිරීම ගැටලුවක් විය. ඒ අනුව, ෂ්කැප්ලෙරෝව් ට නියමු රාජකාරිය පමණක් නොව සහාය ඉන්ජිනේරුවරයාගේ රාජකාරියත් කිරීමට සිදුවුණු අතර අවසානයේ කෙසේ හෝ කැප්සියුලය සහ නැවැතුම්පොළ අතර සම්බන්ධය ඇති කර ගැනුණි. 

යුලියා, ෂිපෙන්කෝ සහ ෂ්කැප්ලෙරෝව් අභ්‍යවකාශ නැවැතුම්පොළට ඇතුළු වී, ශුන්‍ය ගුරුත්වයේ පාවෙමින් එහි රුසියානුවන්ට අයත් කොටසට යද්දී, නැවැතුම්පොළේ රැඳී සිටි සෙසු රුසියන් ගගනගාමීන් දෙදෙනා වන ඔලෙග් නොවිට්ස්කී සහ යෝටර් ඩුබ්‍රෝව් ඔවුන් පිළිගැනීමට සූදානමින් සිටියහ. 

රූගත කිරීම්වලට පමණක් නොව චිත්‍රපටයේ රංගනයට ෂ්කැප්ලෙරෝව් ට අමතරව, මොවුහු දෙදෙනාට සම්බන්ධ වෙති. චිත්‍රපටයේ කැමරා කටයුතු තමන් සහ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින සෙසු ගගනගාමීන් අතින් සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව පෘථිවියට පැමිණ සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ උඩුගුවනට යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේ පවසා තිබුණි. 
වියදම් අධික වුවත් තමන් චිත්‍රපටයෙන් දසුන් කීපයක් හෝ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රූගත කරන්නේ චිත්‍රපටය හැකිතාක් තාත්වික කරවීමට යැයි ද කිම් ෂිපෙන්කෝ එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. 'චැලේන්ජ්' චිත්‍රපටය අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කරන බවත් එහි නිෂ්පාදන කටයුතුවලට රුසියන් අභ්‍යවකාශ ආයතනය සම්බන්ධ වන බවත් රුසියාව නිවේදනය කළේ පසුගිය මැයි මාසයේය. ඒ අනුව, යුලියා සහ ෂිපෙන්කෝ ගගනගාමීන්ට ලබා දෙන ආකාරයේ වෙහෙසකර මෙන්ම අසීරු පුහුණුවීම්වලට යොමු කෙරුණි. 

'චැලෙන්ජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි. මාස ගණනක් මම සහ ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම්වලට සහභාගී වුණා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා. ඒක අපූරු අත්දැකීමක්. බයයි නම් තමයි. ඒත් දැන් ආපසු හැරෙන්න බැහැ.' යැයි යුලියා පෙරෙසිල්ඩ් උඩු ගුවනට යෑමට පෙර අවසන් වරට මාධ්‍ය හමුවේ කියා සිටියාය. 

යුලියා ට 12 හැවිරිදි දියණියක වෙයි. ඇය ඇනා ය. මව අභ්‍යවකාශයට යනු දැක බලා ගැනීමට ඇනා ද බයිකනූර් අභ්‍යවකා මධ්‍යස්ථානයට පැමිණ සිටියාය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් යුලියා, ෂිපෙන්කෝ සහ ෂ්කැප්ලෙරෝව් පුහුණුව ලැබුවේ සෙසු අයගෙන් වෙමිනි. අවසන් මාධ්‍ය හමුවට යුලියා, ෂිපෙන්කෝ සහ ෂ්කැප්ලෙරෝව් පෙනී සිටියේ විශේෂ වීදුරු කුටියක සිටය. යුලියා දියණිය ඇනාට සමු දුන්නේ ද වීදුරු කුටියේ සිටය. 
එය සංවේදී සිදුවීමක් විය. ෂිපෙන්කෝගේ බිරිඳ සොෆියා කරපුනියා ද බයිකනූර් අභ්‍යවකා මධ්‍යස්ථානයට පැමිණ සිටියාය. මැය ද රුසියාවේ ජනප්‍රිය නිළියකි. තම සැමියා අභ්‍යවකාශයේ පළමු චිත්‍රපටය රූගත කරමින් එහි චරිත නිරූපණයක යෙදීම ආඩම්බරයක් බව ඇය පැවැසුවාය. අභ්‍යවකාශ ගමනට පුහුණු වී බර කිලෝ 15 ක් අඩු කර ගැනීමට සැමියාට සිදුවුණු බව ද මාධ්‍ය හමුවේ ඇය කියා සිටියාය. 

''චැලෙන්ජ් චිත්‍රපටයේ කතාව හෘද රෝග වෛද්‍යවරියක් වටා ගෙතෙනවා. යුලියා තමයි ඒ වෛද්‍යවරිය. මේ වෛද්‍යවරිය අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. ඒත් අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බකට මුහුණ දෙනවා. අසනීප වෙනවා. ඒ තැනැත්තා පෘථිවියට ගේන්න විදියක් නැහැ. ප්‍රතිකාර කරන්න වෛද්‍යවරියට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා' යැයි චිත්‍රපටයේ කතාව කුමක්දැයි පැහැදිලි කරමින් ෂිපෙන්කෝ මාධ්‍ය හමුවේ පවසා ඇත. 

ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගම සහ නාසා ආයතනය එක් වී, ස්පේස් එක්ස් රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ගගනගාමීන් නොවන, සිවිල් වැසියන් සිවු දෙනකු ගගනගාමීන් ලෙස පුහුණු කර, පෘථිවි කක්ෂයට යවා ආපසු පෘථිවියට ගෙන්වා ගෙන අවසන්ය. ස්පේස් එක්ස් කැප්සියුලය ආපසු පැමිණියේ අභ්‍යවකාශ නැවැතුම්පොළ පිහිටා ඇති ස්ථානයටත් වඩා ඉහළට ගොස් දින 3 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිට, පෘථිවිය වටා ගමන් කිරීමෙන් ද අනතුරුවය. 
ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ පෞද්ගලික ගගන සංචාර නිල වශයෙන් ආරම්භ කළේ ඒ අනුවය. රුසියන් නිළි යුලියා සහ අධ්‍යක්ෂ ෂිපෙන්කෝ ගගනගාමීන්ට ලැබෙන පුහුණුවකින් පසු උඩු අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ ද සිවිල් වැසියන් ලෙසය. ඇමෙරිකන් හොලිවුඩ් සිනමාවත් අභ්‍යවකාශයේ සහ අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපට රූගත කිරීමකට සූදානම් වෙයි. ඒත් දැන් ඇමෙරිකාවට පෙර රුසියාව ඉක්මන් වී අවසන්ය.

හොලිවුඩයෙන් අභ්‍යවකාශ චිත්‍රපටයක් ලෙස නිර්මාණය වනු ඇත්තේ ජනප්‍රිය නළු ටොම් කෲස්ගේ නවතම චිත්‍රපටයයි. 58 හැවිරිදි ටොම් කෲස් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ 55 හැවිරිදි ඩග් ලීමන් චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සඳහා තව නොබෝ දිනකින් අභ්‍යවකාශයට යෑමට නියමිතය. එම ගගන සංචාරයට අනුග්‍රහය දක්වන්නේ 'ස්පේස් එක්ස්' සමාගම සහ නාසා ආයතනයයි.

Classified_Ad

Classified_Ad_News_Bottom