ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය. ඒ, ඊයේ (27) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේදීය. ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගන් පිතිකරුවෝ පන්දු වාර 10.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළහ.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් කණ්ඩායමේ නායක මොහොමඩ් නබීගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට, ඇෆ්ගන් පන්දු යවනන්න්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දු වාර 19.4 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. ඉනිම පුරා සිය ආධිපත්‍ය පැතිරවූ ඇෆ්ගන් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොදුන්හ.
පසුව, වේගවත් ආරම්භයක් ලබාගත් ඇෆ්ගන් පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ රහ්මතුල්ලා ගුර්බාස් පන්දු 18 කින් ලකුණු 40 ක් රැස් කළේය. ඒ, හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ගුර්බාස් දැවී ගියද, පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළ හස්රතුල්ලා සසායි, ඇෆ්ගන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
මහීෂ් තීක්ෂණ යැවූ ඕවරයකදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 රැස්කළ ගුර්බාස් සහ හස්රතුල්ලා, ඉන් නොනැවතී චාමික කරුණාරත්න යැවූ පන්දු වාරයේ දී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. මංගල විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ පන්දු යැවීමද එක් ඕවරයකට සීමා කළ ඇෆ්ගන් ආරම්භක පිතිකරුවෝ, එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කළහ.
ලැබූ පරාජයත් සමග, තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට, ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අභියෝගයක් වනු ඇති බව ක්‍රිකට් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම අභියෝගය ජය ගැනීමට නම්, බංග්ලාදේශ කණ්ඩායම, මූලික වටයේදී සහභාගි වන තරග දෙකම පරාජයට පත්විය යුතුය. එසේත් නැතිනම් එලැඹෙන සැප්තැම්බර් මස 1 වැනිදා, ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජයගත යුතුය.
ඇමෙරිකන් හමුදා නික්ම ගොස්, ඇෆ්ගනිස්තානය යළි තලේබාන් පාලනයට නතු වීමෙන් අනතුරුව, තලේබාන් රජයක් පවතිද්දී, ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණය සුවිශේෂී එකකි.
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.නවීන් 3
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.ෆරූකි 2
චරිත් අසලංක - ක.මු. කළා ප.ෆරූකි 0
ධනුෂ්ක ගුණතිලක - ඇ.ජානට් ප.මුජිබුර් 17
භානුක රාජපක්ෂ - දුවද්දී දැවී ගියා 38
වනිඳු හසරංග - ඇ.නබී ප.මුජිබුර් 2
දසුන් ශානක - ඇ.ගුර්බාස් ප.නබී 0
චාමික කරුණාරත්න - ප.ෆරූකි 31
මහීෂ් තීක්ෂණ - දුවද්දී දැවී ගියා 0
මතීෂ පතිරණ - ඇ.නජිබුල්ලා ප.නබී 5
දිල්ෂාන් මධුෂංක - නොදැවී 1
අතිරේක 6
එකතුව පන්දු වාර 19.4 කදී සියල්ල දැවී 105
කඩුලු බිඳ වැටීම
1-03(කුසල්), 2-03(චරිත්), 3-05(පැතුම්), 4-49(ධනුෂ්ක), 5-60(වනිඳු), 6-64(දසුන්), 7-69(භානුක), 8-69(මහීෂ්), 9-75(මතීෂ), 10-105(චාමික)
පන්දු යැවීම
ෆසාල්හක් ෆරූකි 3.4-1-11-3, නවීන් උල්හක් 3-0-23-1, මුජිබුර් රහමන් 4-0-24-2, අස්මතුල්ලා ඔමර්සායි 1-0-20-0, මොහොමඩ් නබී 4-0-14-2, රෂීඩ් ඛාන් 4-0-12-0
ඇෆ්ගනිස්තානය
හස්රතුල්ලා සසායි - නොදැවී 37
රාහ්මතුල්ලා ගුර්බාස් - ප.හසරංග 40
ඊබ්‍රහීම් සද්‍රාන් - දුවද්දී දැවී ගියා 15
නජිබුල්ලා සද්රාන් - නොදැවී 2
අතිරේක 12
එකතුව ඕවර 10.1 කදී කඩුලු 2 කට 106
කඩුලු බිඳ වැටීම
1-83(රහ්මතුල්ලා), 2-103(ඊබ්‍රහීම්)
පන්දු යැවීම
දිල්ෂාන් මධුෂංක 1-0-10-0, මහීෂ් තීක්ෂණ 4-035-0, මතීෂ පතිරණ 1-0-16-0, වනිඳු හසරංග 3-0-19-1, චාමික කරුණාරත්න 1-0-20-0, චරිත් අසලංක 0.1-0-1-0